1. 12. 1.
111. “ගිහි සැපත් හැරපියා පැවිදිවනු ඒකාන්තයෙන් දුෂ්කරය, ගෘහයෝ දුකසේ විසිය යුත්තාහ. පැවිදිව පිරිය යුතු ධර්මය ගැඹුරුය. භොගයෝ දුකසේ ලැබිය යුත්තාහ. මේ බුදුසසුන්හි ලත් පරිදි පසයෙන් අපගේ දිවි පැවතුමුදු දුකය. නිරතුරු අනිත්‍යභාවය සිතන්නට යුතුමය.”
ඉත්ථං සුදං ආයස්මා ජෙන්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ජෙන්ත ථේර ගාථා
1. 12. 2.
112. “මම පූර්වෙනිවාසානුස්මෘති ඥානාදි ත්‍රිවිද්‍යාවන් ලදුයෙම් වෙමි. මහත්වූ ධ්‍යාන ඇත්තෙම් වෙමි. චිත්ත සමථයෙහි දක්ෂයෙමි. මා විසින් ස්වාර්ථය නම් අර්හත්වය අනුක්රමයෙන් පැමිණෙන ලද්දේය. බුදුහුගේ සසුන් කරණ ලදී.”
ඉත්ථං සුදං ආයස්මා වච්ඡගොත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
වච්ඡගොත්ත ථේර ගාථා
1. 12. 3.
113. “පහන්දිය ඇත්තාවූ පුළුල් ගල් ඇත්තාවූ වඳුරු ආදී මෘගයන්ගෙන් ගැවසීගත් දිය සෙවෙලින් වැසීගියාවූ (මා විසූ පෙදෙස්හි) ඒ පර්වතයෝ මා සිත් අලවන්නාහ.”
ඉත්ථං සුදං ආයස්මා වනවච්ඡතෙරණුවෝ මේ ගාථාව වදාළහ.
වනවච්ඡ ථේර ගාථා
1. 12. 4.
114. කුඩාඇළ දියත්තක් මෙන් ජීවිතය ගෙවීයන්නාහාම කය දැඩිකොටලීම බහුල කොට ඇති (ප්‍රණීත ආහාරාදීන්) ශාරීරික සුඛයෙන් ගිජු බවට පැමිණි ශ්රමණයාහට ශොභන ශ්‍රමණ භාවයෙක් කොයින්ද?”
ඉත්ථං සුදං ආයස්මා අධිමුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
අධිමුත්ත ථේර ගාථා
1. 12. 5.
115. “හටගත් බොහෝ කෙළිඳ ඉඳුසල් රුක් ඇත්තාවූ බෙහෙත් ආදී වස්තූන් ලැබිය හැකි පර්වත ගුණයන්ගෙන් යශස්වීවූ නන්නන් රුක් ලියයෙන් වැසී ගියාවූ නොහොත් වෙසෙන තැන්වූ බැවින් තට උපකරණවූ “නොසාදක” නම් පර්වතයෙන් ඒ තෝ පිරිහෙන්නෙහිය.”
ඉත්ථං සුදං ආයස්මා මහානාම තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
මහානාම ථේර ගාථා
1. 12. 6.
116. “චක්ෂුරාදි ආයතන සය පිළිබඳ කෙළෙස් ප්‍රහාණ වශයෙන් හැරපියා රක්නා ලද සදොර ඇත්තෙම් වෙමි. කායාදීන් යහපත් පාපයෙන් වැළක ගියෙමි. සංසාරදුකට මුල්ව සිටි අවිද්‍යා භව තෘෂ්ණා මූලය ආර්ය මාර්ගයෙන් වමාරා පියා මා විසින් කලක් පැවති කෙලෙස් නැති කිරීම නම්වූ නිර්වාණයට පැමිණෙන ලදී.”
ඉත්ථං සුදං ආයස්මා පාරාසරිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
පාරාසරිය ථේර ගාථා
1. 12. 7.
117. (මම පෙර ගිහිව සිටි සෙමෙහි) “ශොභමානවූ කොකුම් සඳුන් විලවුනෙන් යහපත් සේ ගල්වන ලදුයෙමි. මහඟු කසීවත් වස්ත්‍ර කොට ඇතියෙම් වීමි. සියලු ආභරණයන්ගෙන් අලංකෘතවීමි. (දැන්) ත්‍රිවිද්‍යාවන්ට පැමිණ ගතිමි. බුදුන්ගේ ශාසනය මා විසින් කරණලදී.”
ඉත්ථං සුදං ආයස්මා යස තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
යස ථේර ගාථා
1. 12. 8.
118. “බාල්ය - යෞවනාදි වයස (තෝ වහා යවයි) දෙවියන් විසින් අණවන ලද්දක්හු මෙන් අඩුවෙමින් විනාශයට පැමිණෙමින් දිවෙයි. ස්වකීය ස්වභාවයෙන් සිටගත් මේ රූපය අනෙකක් මෙන් මට වැටහේ, ඒ මා ගැතිවූම, වියොග වාස විරහිතවූම මාගේ ආත්මභාවය අනෙකක්හුගේ මෙන් සිහි කෙරෙම්.”
ඉත්ථං සුදං ආයස්මා කිම්බිල තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
කිම්බිල ථේර ගාථා
1. 12. 9.
119. “ගෞතමයෙනි, රුක්මුල ලැහැබකට පැමිණ නිවන සිත්හි තබාගෙන විදසුන් සහිත මග වඩාලන්න. අධිකුශල ධර්මයන්හි පමා නොවන්න. බිලි, බිලි, ක්‍රියාව “බිලි බිලි” යන ශබ්දය තොපට කුමක් කරන්නීද?”
ඉත්ථං සුදං ආයස්මා වජ්ජපුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
වජ්ජිපුත්ත ථේර ගාථා
1. 12. 10.
120. “මා විසින් සියලුම පංචස්කන්ධයෝ විදර්ශනා ඥාන සහිත මාර්ග ප්‍රඥායෙන් පිරිසිඳ දන්නා ලද්දාහු අවිජ්ජා-තණ්හා නම්වූ සිඳ හල මුල් ඇත්තාහු සිටිනාහ. දුක්ඛක්ඛය නම්වූ නිර්වාණය මා විසින් ලබන ලද්දේය. ආසවක්ඛය නම්වූ නිර්වාණය මා විසින් පැමිණෙන ලදී.”
ඉත්ථං සුදං ආයස්මා ඉසිදත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ඉසිදත්ත ථේර ගාථා
ද්වාදසම වග්ගයයි.
එහි උද්දානය:
ජෙන්ත ද, වච්ඡගොත්ත ද, වනවච්ඡ නම් වූ වච්ඡ ද, අධිමුත්ත ද, මහානාම ද, පාරාසරිය ද, යස ද, කිම්බිල ද, වජ්ජිපුත්ත ද, මහා යස ඇති ඉසිදත්ත ද වෙති.
එහි වර්ග උද්දානය:
එකක නිපාතයෙහි කෘත්‍යය කළාවූ, ආශ්‍රව රහිතවූ, එකසිය විස්සක් තෙරවරු මහර්ෂීන් විසින් මනාව සංගායනා කරන ලද්දාහුය.
එකකනිපාතය නිමියේය.