1. 11. 3.
103. “මම මේ ආමිස ලාභයෙන් ප්‍රයෝජන ඇත්තෙක් නොවෙමි. දහම් රසයෙන් හටගත් සුව ඇත්තෙක් වෙමි. පිනා ගියෙමි. රසයෙන් අග්‍ර උතුම් දහම් රසය පානය කොට විෂක් සමග හෙවත් විෂක් වැනි ආමිසය සමග එකතු බවක් නොකරන්නෙමි.”
ඉත්ථං සුදං ආයස්මා බන්ධුර තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
බන්ධුර ථේර ගාථා
1. 11. 4.
104. “විස්මයෙකි, මාගේ රූපකය හෑල්ලුව ගියේය. මහත්වූ ප්‍රීති සහිත සුඛයෙන් පහස්නා ලද්දේවේ. සුළඟින්, මෙහෙයන ලද පුළුන් රොදක් මෙන් මාගේ කය ඉපිලනුයේ අහසට නගිනුයේම වේ.”
ඉත්ථං සුදං ආයස්මා ඛිතක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ඛිතක ථේර ගාථා
1. 11. 5.
105. “භොජන සප්පායයාගේ හෙවත් හිත පථ්‍ය ආහාරයන්ගේ නොලැබීමෙන් හටගත් උකටලී බැව් ඇත්තෙම් නමුදු වෙසෙම්මය. (හිත පථ්‍යාහාර ලාභයෙන් යම් දවසෙක) සිත් අලවන්නෙම් නමුදු සෙසු සප්පායයන්ගේ නොලැබීමෙන් එයින් නික්මයෙමි. නුවණැති පුද්ගල තෙමේ අවැඩ ඇසුරුකොට ඇති වාසයෙක් නොම වසන්නේය.”
ඉත්ථං සුදං ආයස්මා මලිතවම්හ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
මලිතවම්භ ථේර ගාථා
1. 11. 6.
106. “අඥාන තැනැත්තේ සිය ගණන් ලක්ෂණ දරන්නාවූ අර්ථයාගේ එක් ලක්ෂණ මාත්‍රයක්ම දක්නා සුලුවෙයි. ප්‍රාඥ තැනැත්තේ වනාහි සියගණන් ලිංග ලක්ෂණයන් දක්නේයි.”
ඉත්ථං සුදං ආයස්මා සුහෙමන්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සුහෙමන්ත ථේර ගාථා
1. 11. 7.
107. (ගෙයි විසීමෙහි දෝසයද පැවිද්දෙහි අනුසස්ද නුවණින්) “කිරා මැන බලා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙමි. මා විසින් විද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුහුගේ අනුශාසනය කරනලදී.”
ඉත්ථං සුදං ආයස්මා ධම්මසව තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ධම්මසව ථේර ගාථා
1. 11. 8.
108. “එක්සිය විසි වයස් ඇති ඒ මම පැවිද්දට පැමිණියෙමි. මා විසින් ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුහුගේ ශාසනය කරන ලදී.”
ඉත්ථං සුදං ආයස්මා ධම්මසව පිතු තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ධම්මසවපිතු ථේර ගාථා
1. 11. 9.
109. “මේ මහණ තෙම රහසිගතව සිටගෙන අතිශයින් සත්වයනට අනුකම්පාකරන සුලු භගවත්හුගේ ප්‍රතිපත්ති ශාසනය ගණන් ගනිතැයි නොහඟිම්. ඒ එසේමැයි මේ මහණ තෙම වෙනෙහි තරුණ ස්වභාවය ඇති මුව දෙනක මෙන් ස්වභාවයෙහි පිහිටි ඉන්ද්‍රියයන් ඇත්තේ වාසය කෙරෙයි”
ඉත්ථං සුදං ආයස්මා සංඝරක්ඛිත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සඞ්ඝරක්ඛිත ථේර ගාථා
1. 11. 10.
110. “කඳු මුදුන්වල අලුත හටගත් මහත් වූ මෙඝ ජලයෙන් තෙමීගිය නාගාදී වෘක්ෂයෝ යහපත්ව වැඩී ගියාහු විවේකය රිසිවන අරණ්‍යගත සංඥා ඇති උසභ මහණ හට මතු මතුයෙහි ආරොග්‍ය හෙවත් සිත පිළිබඳ භාවනා විෂයෙහි යොග්‍ය බව උපදවන්නාහ.”
ඉත්ථං සුදං ආයස්මා උසභ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
උසභ ථේර ගාථා
එකාදසම වග්ගයයි.
එහි උද්දානය:
බෙලට්ඨානික හා සෙතුච්ඡ ද, බන්ධුර ද, ඛිතක ඉසි ද, මලිතවම්භ ද, සුහෙමන්ත ද, ධම්මසව ද, ධම්මසවපිතා ද, සඞ්ඝරක්ඛිත තෙරණුවෝ ද, මහාමුනි වූ උසභ ද වෙති.