1. 11. 10.
110. “කඳු මුදුන්වල අලුත හටගත් මහත් වූ මෙඝ ජලයෙන් තෙමීගිය නාගාදී වෘක්ෂයෝ යහපත්ව වැඩී ගියාහු විවේකය රිසිවන අරණ්‍යගත සංඥා ඇති උසභ මහණ හට මතු මතුයෙහි ආරොග්‍ය හෙවත් සිත පිළිබඳ භාවනා විෂයෙහි යොග්‍ය බව උපදවන්නාහ.”
ඉත්ථං සුදං ආයස්මා උසභ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
උසභ ථේර ගාථා
එකාදසම වග්ගයයි.
එහි උද්දානය:
බෙලට්ඨානික හා සෙතුච්ඡ ද, බන්ධුර ද, ඛිතක ඉසි ද, මලිතවම්භ ද, සුහෙමන්ත ද, ධම්මසව ද, ධම්මසවපිතා ද, සඞ්ඝරක්ඛිත තෙරණුවෝ ද, මහාමුනි වූ උසභ ද වෙති.
ද්වාදසම වග්ගය.
1. 12. 1.
111. “ගිහි සැපත් හැරපියා පැවිදිවනු ඒකාන්තයෙන් දුෂ්කරය, ගෘහයෝ දුකසේ විසිය යුත්තාහ. පැවිදිව පිරිය යුතු ධර්මය ගැඹුරුය. භොගයෝ දුකසේ ලැබිය යුත්තාහ. මේ බුදුසසුන්හි ලත් පරිදි පසයෙන් අපගේ දිවි පැවතුමුදු දුකය. නිරතුරු අනිත්‍යභාවය සිතන්නට යුතුමය.”
ඉත්ථං සුදං ආයස්මා ජෙන්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ජෙන්ත ථේර ගාථා
1. 12. 2.
112. “මම පූර්වෙනිවාසානුස්මෘති ඥානාදි ත්‍රිවිද්‍යාවන් ලදුයෙම් වෙමි. මහත්වූ ධ්‍යාන ඇත්තෙම් වෙමි. චිත්ත සමථයෙහි දක්ෂයෙමි. මා විසින් ස්වාර්ථය නම් අර්හත්වය අනුක්‍රමයෙන් පැමිණෙන ලද්දේය. බුදුහුගේ සසුන් කරණ ලදී.”
ඉත්ථං සුදං ආයස්මා වච්ඡගොත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
වච්ඡගොත්ත ථේර ගාථා
1. 12. 3.
113. “පහන්දිය ඇත්තාවූ පුළුල් ගල් ඇත්තාවූ වඳුරු ආදී මෘගයන්ගෙන් ගැවසීගත් දිය සෙවෙලින් වැසීගියාවූ (මා විසූ පෙදෙස්හි) ඒ පර්වතයෝ මා සිත් අලවන්නාහ.”
ඉත්ථං සුදං ආයස්මා වනවච්ඡතෙරණුවෝ මේ ගාථාව වදාළහ.
වනවච්ඡ ථේර ගාථා
1. 12. 4.
114. කුඩාඇළ දියත්තක් මෙන් ජීවිතය ගෙවීයන්නාහාම කය දැඩිකොටලීම බහුල කොට ඇති (ප්‍රණීත ආහාරාදීන්) ශාරීරික සුඛයෙන් ගිජු බවට පැමිණි ශ්‍රමණයාහට ශොභන ශ්‍රමණ භාවයෙක් කොයින්ද?”
ඉත්ථං සුදං ආයස්මා අධිමුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
අධිමුත්ත ථේර ගාථා
1. 12. 5.
115. “හටගත් බොහෝ කෙළිඳ ඉඳුසල් රුක් ඇත්තාවූ බෙහෙත් ආදී වස්තූන් ලැබිය හැකි පර්වත ගුණයන්ගෙන් යශස්වීවූ නන්නන් රුක් ලියයෙන් වැසී ගියාවූ නොහොත් වෙසෙන තැන්වූ බැවින් තට උපකරණවූ “නොසාදක” නම් පර්වතයෙන් ඒ තෝ පිරිහෙන්නෙහිය.”
ඉත්ථං සුදං ආයස්මා මහානාම තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
මහානාම ථේර ගාථා
1. 12. 6.
116. “චක්ෂුරාදි ආයතන සය පිළිබඳ කෙළෙස් ප්‍රහාණ වශයෙන් හැරපියා රක්නා ලද සදොර ඇත්තෙම් වෙමි. කායාදීන් යහපත් පාපයෙන් වැළක ගියෙමි. සංසාරදුකට මුල්ව සිටි අවිද්‍යා භව තෘෂ්ණා මූලය ආර්ය මාර්ගයෙන් වමාරා පියා මා විසින් කලක් පැවති කෙලෙස් නැති කිරීම නම්වූ නිර්වාණයට පැමිණෙන ලදී.”
ඉත්ථං සුදං ආයස්මා පාරාසරිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
පාරාසරිය ථේර ගාථා