1. 10. 2.
92. “යම් උත්තම පුද්ගලයෙකුගේ කාමාදී ආශ්‍රවයෝ හාත්පසින් ගෙවී ගියාහුද යමෙක් ආහාර විෂයෙහි තෘෂ්ණා දෘෂ්ටි නිශ්‍රය නැත්තේ වේද, ශුන්‍යතා විමොක්ෂ නම් වූද, අනිමිත්ත විමොක්ෂ නම්වූද නිර්වාණය යමක්හුගේ විෂය වේද, අහස යන පක්ෂීන්ගේ පිය නොදත හෙන්නාසේ ඒ ක්ෂිණාශ්‍රවයා ආශ්‍රය කරණ ලද පද වාරයෙක් නොදත හැක්කේය.”
ඉත්ථං සුදං ආයස්මා විජය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
විජය ථේර ගාථා
1. 10. 3.
93. “එරකය, කාමයෝ දුක් වන්නාහ. එරකය, කාමයෝ සැප නොවන්නාහ. එරකය, යමෙක් කාමයන් කැමැතිවේනම් හේ දුක කැමැතිවේ. එරකය යමෙක් කාමයන් නොකැමැති වේද, එරකය, හේ දුක නොකැමැතිවේ.”
ඉත්ථං සුදං ආයස්මා එරක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
එරක ථේර ගාථා
1. 10. 4.
94. “ශාක්‍ය පුත්‍රවූ ශ්‍රීමත් ඒ භගවත්හට නමස්කාරය වේවා. අග්‍රප්‍රාප්තවූ උන්වහන්සේ විසින් මේ අග්‍රවූ නවවිධ ලොකොත්තර ධර්මය දෙසන ලදී.”
ඉත්ථං සුදං ආයස්මා මෙත්තජි තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
මෙත්තජි ථේර ගාථා
1. 10. 5.
95. “මම අන්ධයෙමි. විනාශ ඇස් ඇතියෙමි. කාන්තාරයක් බඳු වෙනෙහි දික් මඟට ආයෙමි. මෙහිම වැද හෝ නෙම් නමුදු පාපීවූ යහළුවකු සමග නොයන්නෙමි.”
ඉත්ථං සුදං ආයස්මා චක්ඛුපාල තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
චක්ඛුපාල ථේර ගාථා
1. 10. 6.
96. “එක් මලක් පුදා අවුරුදු අසූකෙළක් මුළුල්ලෙහි ස්වර්ගයන්හි රූපාදී මනාප අරමුණු විෂයෙහි ඉඳුරන් හසුරුවා දෙව්සරන් ලවා මෙහෙකරවා පියා ඒ කුශලයාගේම ඉතිරිව සිටි විපාකයෙන් කෙලෙස් පිරිනිවනින් නිවී ගියෙමි.”
ඉත්ථං සුදං ආයස්මා ඛණ්ඩ සුමන තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ඛණ්ඩ සුමණ ථේර ගාථා
1. 10. 7.
97. “සිය පලමක් පමණවූ ස්වර්ණමයවූ සියගණන් හිරි ඇති භොජන පාත්‍රය (රන්තලිය) හැරපියා මැටි පාත්‍රයක් මම ගත්තෙමි. මාගේ මේ පැවිදි බවට පැමිණ දෙවන අභිෂෙකය වේ.”
ඉත්ථං සුදං ආයස්මා තිස්ස තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
තිස්ස ථේර ගාථා
1. 10. 8.
98. “සිත්කලු රුවක් දැක ප්‍රිය නිමිත්තක් කොට මෙනෙහි කරන්නාවූ මාගේ සිහිය මුළාවී ගියේය. බලවත් රාගයෙන් ඇලී ගිය තැනැත්තේ ඒ ඉෂ්ටාලම්බනයම රසවිඳීම කෙරෙයි. ඒ අරමුණම ගිලගෙන සිටී. සසරට මුල්ව සිටි සසර කරා පමුණුවන සුලු කාමාදි කල්ගත කෙලෙස් ඕහට වැඩෙන්නාහ.”
ඉත්ථං සුදං ආයස්මා අභය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
අභය ථේර ගාථා
1. 10. 9.
99. “සිත්කලුවූ ශබ්දයක් අසා ප්‍රිය නිමිත්තක් කොට මෙනෙහි කරන්නාවූ මාගේ සිහිය මුළාව යාගත. බලවත් ලෙස රාගයෙන් ඇලීගිය තැනැත්තේ ඒ ඉෂ්ටාලම්බනය ආස්වාදය කෙරෙයි. ඒ ඉෂ්ටාලම්බනය ගිලගෙන සිටී. සසරට පමුණුවන සුලු කාමාදී ආශ්‍රවයෝ ඕහට වැඩෙන්නාහ.”
ඉත්ථං සුදං ආයස්මා උත්තිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
උත්තිය ථේර ගාථා
1. 10. 10.
100. “සතර සම්‍යක් ප්‍රධානයන් ගෙන් සම්පූර්ණවූ සතර සතිපට්ඨානයන් නිත්‍ය සෙවිත ස්ථාන කොට ඇති පංචවිධ විමුක්ති නමැති පුෂ්පයන්ගෙන් විභූෂිතවූ මහණතෙම කාමාදි චතුරාශ්‍රව රහිතවූයේ සඋපාදිශෙෂවූද නිරුපධිශෙෂවූද නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානේයි.”
ඉත්ථං සුදං ආයස්මා දෙවසභ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
දෙවසභ ථේර ගාථා
දසම වග්ගයයි.
එහි උද්දානය:
පරිපුණ්ණක ද, විජය ද, එරක ද, මෙත්තජී මුනි ද, චක්ඛුපාල ද, ඛණ්ඩසුමන ද, තිස්ස ද, එසේම අභය ද, උත්තිය ද, මහා ප්‍රඥා ඇති දෙවසභ තෙරණුවෝ ද (වෙත්).