1. 10. 10.
100. “සතර සම්‍යක් ප්‍රධානයන් ගෙන් සම්පූර්ණවූ සතර සතිපට්ඨානයන් නිත්‍ය සෙවිත ස්ථාන කොට ඇති පංචවිධ විමුක්ති නමැති පුෂ්පයන්ගෙන් විභූෂිතවූ මහණතෙම කාමාදි චතුරාශ්‍රව රහිතවූයේ සඋපාදිශෙෂවූද නිරුපධිශෙෂවූද නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානේයි.”
ඉත්ථං සුදං ආයස්මා දෙවසභ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
දෙවසභ ථේර ගාථා
දසම වග්ගයයි.
එහි උද්දානය:
පරිපුණ්ණක ද, විජය ද, එරක ද, මෙත්තජී මුනි ද, චක්ඛුපාල ද, ඛණ්ඩසුමන ද, තිස්ස ද, එසේම අභය ද, උත්තිය ද, මහා ප්‍රඥා ඇති දෙවසභ තෙරණුවෝ ද (වෙත්).
එකාදසම වග්ගය.
1. 11. 1.
101. “ගිහි බැව් හැරපියා පැවිදිව මහණක්හු විසින් කටයුතු දැය නොනිමි ස්වභාව ඇත්තාවූ (නගුලෙන් පොළොව කනක්හු සෙයින් රළු පරළු බසින් අනුන් ගටා තමන් ගුණ සාරණ හෙයින්) මුව නැමැති නගුල් ඇත්තාවූ උදර පොෂණයෙහි ඇලී ගත්තාවූ අලසවූ අඥාන තැනැත්තේ කෑමෙන් පොෂිතවූ මහත් හුරක්හු සෙයින් නැවත නැවතත් මවුකුසයට පැමිණේ.”
ඉත්ථං සුදං ආයස්මා බෙලට්ඨානික තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
බෙලට්ඨානික ථේර ගාථා
1. 11. 2.
102. “මානයෙන් වඤ්චිතවූද, (ආධ්‍යාත්මික බාහ්‍ය චක්ෂුරාදිවූත් රූපාදීවූත්) සංස්කාර විෂයෙහි තෘෂ්ණා-දෘෂ්ටි මාන විසින් කිලිටි වන්නාවූද ලාභ අලාභ දෙකින් මිරිකී ගියාවූද, අඥානයෝ සමථ-විදර්ශනා වශයෙන් ලැබිය යුතු ලෞකික ලොකොත්තර සමාධියකට නොපැමිණෙන්නාහ.”
ඉත්ථං සුදං ආයස්මා සෙතුච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සෙතුච්ඡ ථේර ගාථා
1. 11. 3.
103. “මම මේ ආමිස ලාභයෙන් ප්‍රයෝජන ඇත්තෙක් නොවෙමි. දහම් රසයෙන් හටගත් සුව ඇත්තෙක් වෙමි. පිනා ගියෙමි. රසයෙන් අග්‍ර උතුම් දහම් රසය පානය කොට විෂක් සමග හෙවත් විෂක් වැනි ආමිසය සමග එකතු බවක් නොකරන්නෙමි.”
ඉත්ථං සුදං ආයස්මා බන්ධුර තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
බන්ධුර ථේර ගාථා
1. 11. 4.
104. “විස්මයෙකි, මාගේ රූපකය හෑල්ලුව ගියේය. මහත්වූ ප්‍රීති සහිත සුඛයෙන් පහස්නා ලද්දේවේ. සුළඟින්, මෙහෙයන ලද පුළුන් රොදක් මෙන් මාගේ කය ඉපිලනුයේ අහසට නගිනුයේම වේ.”
ඉත්ථං සුදං ආයස්මා ඛිතක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ඛිතක ථේර ගාථා
1. 11. 5.
105. “භොජන සප්පායයාගේ හෙවත් හිත පථ්‍ය ආහාරයන්ගේ නොලැබීමෙන් හටගත් උකටලී බැව් ඇත්තෙම් නමුදු වෙසෙම්මය. (හිත පථ්‍යාහාර ලාභයෙන් යම් දවසෙක) සිත් අලවන්නෙම් නමුදු සෙසු සප්පායයන්ගේ නොලැබීමෙන් එයින් නික්මයෙමි. නුවණැති පුද්ගල තෙමේ අවැඩ ඇසුරුකොට ඇති වාසයෙක් නොම වසන්නේය.”
ඉත්ථං සුදං ආයස්මා මලිතවම්හ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
මලිතවම්භ ථේර ගාථා
1. 11. 6.
106. “අඥාන තැනැත්තේ සිය ගණන් ලක්ෂණ දරන්නාවූ අර්ථයාගේ එක් ලක්ෂණ මාත්‍රයක්ම දක්නා සුලුවෙයි. ප්‍රාඥ තැනැත්තේ වනාහි සියගණන් ලිංග ලක්ෂණයන් දක්නේයි.”
ඉත්ථං සුදං ආයස්මා සුහෙමන්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සුහෙමන්ත ථේර ගාථා