1. 1. 3.
3. “යම් තථාගත කෙනෙක් තමන් වෙත පැමිණ දිව්ය-බ්රහ්මාදීන්ගේ සැක දුරුකෙරෙද්ද ඒ තථාගතවරයන්ගේ මධ්යම රාත්රියෙහි දල්වනලද ගිනිකඳක් මෙන් බබළන මේ ප්රඥා මහිමය බලන්න. “ඒ මේ බුදුවරයෝ හික්මියයුතු ජනයාට ප්රඥාලෝකය දෙන්නෝ වෙති. නුවණැස දෙන්නෝ වෙති.”
ආයුෂ්මත් සංඛාරේවත ස්ථවිරතෙම මේ ගාථාව වදාළේය.
3. කංඛාරේවත ථෙරගාථා
1. 1. 4.
4. “නුවණැත්තාවූ, අත්වැඩ පර වැඩ ආදී හිතාභිවෘද්ධිය දන්නාසුළුවූ බුද්ධාදී සත්පුරුෂයන් හා එක්ව හිඳිනේය. නොපමාවූ විචක්ෂණවූ වීරයෝ ගැඹුරුවූ දැක්මට අපහසු සියුම් ඉතා සියුම් මහත්වූ අර්ථය නම්වූ ආර්ය සත්යය මොනවට අවබෝධ කෙරෙත්.”
ආයුෂ්මත් පුණ්ණ මන්තානි පුත් තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
4. පුණ්ණ තෙරගාථා
1. 1. 5.
5. “යමෙක් අමාරුවෙන් හික්මිය යුතුවූයේ බුදුරදුන් විසින් හික්මවනලද්දේද, ප්රඥාදී මගපල සුවින් හටගත් සතුටු ඇති, දුරුකළ සැක ඇති කෙළෙස් සතුරන් මැඩ ජය ගත්තාවූ පහවගිය සසර බිය ඇති (ලෝකධර්මයන්ගෙන් කම්පානොවන හෙයින්) අචලවූ ඒ දබ්බ තෙමේ ක්ලේශ පරිනිර්වාණය කෙළේය.”
ආයුෂ්මත් දබ්බ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
5. දබ්බ (මල්ලපුත්ත) ථෙරගාථා
1. 1. 6.
6. “යම් මහණෙක් තනිව ශීතවනයට පැමිණියේද, ඒ මහණතෙම, ධෛර්ය්ය සම්පන්නවූයේ ‘කායගතා සතිය’ රකිමින් සතුටට පත්විය. අශ්රමාර්ගයෙන් සන්සිඳින සියලු කෙලෙස් සතුරන් මැඩ ජයගත. පහවගිය ලොමුඩැහැගැනීම් ඇත්තේවී”
ආයුෂ්මත් සීතවනිය සම්භූත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
6. සීතවනිය ථෙරගාථා
1. 1. 7.
7. “යමෙක්තෙම ඉතා දුර්වල උන හෝ බට ඒදණ්ඩක් පාකොට යන මහා වතුරක් සෙයින් මරසෙනග දුරුකළේද, කෙළෙස් සතුරන් ජයගත්, පහවූ බිය ඇති දැමුණ, අචලවූ ඒ භල්ලිය මහණතෙම කෙළෙස් පිරිනිවනින් නිවීගියේය”
ආයුෂ්මත් භල්ලිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
7. භල්ලිය ථෙරගාථා
1. 1. 8.
8. “යමෙක් අමාරුවෙන් හික්මිය යුතුවූයේ බුදුරදුන් විසින් හික්මවන ලද්දේද, මගඵල සුවින් හටගත් සතුටු ඇති තරණය කළ සැක ඇති, කෙළෙස් සතුරන් මැඩ ජයගත්තාවූ, පහවගිය ලොමුඩැහැගැනීම් ඇති අචලවූ ඒ වීර මහණතෙම, කෙළෙස් පිරිනිවනින් නිවීගියේය.”
ආයුෂ්මත් වීර තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
8. වීර ථෙරගාථා
1. 1. 9.
9. “මාගේ මේ පැමිණීම මනා පැමිණීමකි නපුරු පැමිණීමක් නොවේ. (බුදුන් වෙත පැමිණෙමැයි) මා විසින් සිත විමසන ලද්දේද, නපුරු විමසීමක් නොවේ. (ඒ, ඒ ශාස්තෘවරයන් විසින් නොයෙක් ලෙස) විභාගකොට, දෙසනලද ධර්මයන් අතුරෙහි යම් ධර්මයක් අතිශයින් උතුම්වේද, ඒ ආර්යසත්ය ධර්මයට මම පැමිණියෙමි”
ආයුෂ්මත් පිළින්දිවච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
9. පිළින්දිවච්ඡ ථෙරගාථා
1. 1. 10.
10. “යමෙක් මාර්ගඥාන පිළිවෙළින් නිවන් පැමිණියේද, සතර සත්යයන් දැන සිටියේද, (කෙළෙස් නිවීමෙන් සංසිඳුනේද, සැම පවින් වැළකී ගිය සිත් ඇත්තේද මෙලොවෙහි හා පරලොවෙහි තෘෂ්ණාව වෙසෙසින් හැරදැමූයේවේද, හෙතෙම ලෝකයාගේ ඇතිවීමද, නැතිවීමද, දැන සියලු රූපාදී අරමුණු සයෙහි නොතැවරී සිටින්නේයි
ආයුෂ්මත් පුණ්ණමාස තෙරණුවෝ මේ ගාථාව වදාළහ.”
10. පුණ්ණමාස ථෙරගාථා
පළමුවන වර්ගය නිමි.
එහි උද්දානය:
සුභූති, කොට්ඨිත ථෙර, කංඛාරේවත සම්මත, මන්තාණිපුත්ත, දබ්බ, සීතවනිය සහ භල්ලිය, වීර, පිළින්දවච්ඡ සහ පුණ්ණමාස යන දස දෙනෙකි.