5. 9.
තොදෙය්යසුත්තං
1093. “යම් කෙනෙකු කෙරෙහි කාමයෝ නොවෙසෙත්ද, යමෙකුට තෘෂ්ණාව නැද්ද යමෙක් සැකය දුරුකළේද, ඔහුට කෙබඳු මිදීමක් වේදැයි” ආයුෂ්මත් තොදෙය්‍ය තෙමේ ඇසීය.
1094. භාග්‍යවතුන් වහන්සේ “තොදෙය්‍යය, යම් කෙනෙකු කෙරෙහි කාමයෝ නොවෙසෙත්ද, යමෙකුට තෘෂ්ණාව නැද්ද යමෙක් සැකය දුරුකළේද, ඔහුට අනෙක් මිදීමක් නැත.”
1095. “පහකළ ආශා ඇති හෙතෙම ආශා ඇති කරගනීද නුවණැති හෙතෙම ඤාණයෙන් සිතයිද, ශ්‍රේෂ්ඨයන් වහන්ස ඒ මුනිවරයා මම යම්සේ දන්නේද, සර්වඥයන් වහන්ස, ඔහු මට ප්‍රකාශ කළ මැනව.”
1096. “ආශා නැත්තාවූ හෙතෙම බලාපොරොත්තු නොවෙයි. නුවණැති හෙතෙම ඤාණයෙන් සිතයි. තොදෙය්‍යය, මුනිවරයා මෙසේ දැනගනුව රාගාදී කිඤ්චන නැති කාමභවයෙහි නොඇලුන ඒ මුනීහු මෙසේ දනුව.”
තොදෙය්‍යමාණවපුච්ඡා නවමා නිට්ඨිතා.
5. 10.
කප්පසුත්තං
1098. “සසරෙහි වැද සිටින්නා හට භයානක වර්ෂාවක්වූ කල්හි ජරාවෙන්, මරණයෙන් පීඩිත වූවහුට පිහිටක් වදාරන්න නුඹවහන්සේ මට යම් පිහිටක් වදාළසේක්ද ඒ එසේමය. අනෙක් පරිද්දකින් නොවේයයි” ආයුෂ්මත් කප්පතෙමේ කීයේය.
1099. “කප්පය, සසර නමැති විල මැද සිටින්නාහට මහත් බිය උපදවන ජලගැල්මක් ඇති කල්හි ජරාවෙන් හා මරණයෙන් යුක්තවූ තොපට කප්පය පිහිටක් කියමියි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
1100. “රාගාදී කිසිවක් නැති, ගැනීම් නැති ශ්‍රේෂ්ඨවූ මේ පිහිට ජරාව හා මරණය ක්ෂය කරණ නිර්වාණයයි කියමි.
1101. “සිහි ඇති යම් සත්වකෙනෙක් මෙය දැන මේ ආත්මයෙහිම නිවුනාහු මාරයාගේ වසඟයට නොගියාහුය. ඔව්හු මාරයාගේ ශිෂ්‍යයෝ නොවෙති.”
කප්පසුත්තං දසමං.