වත්ථුගාථා
980. “මන්ත්‍ර ශාස්ත්‍රයෙහි පරතෙරට පැමිණි බමුණුතෙම ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය බලාපොරොත්තු වෙමින් රම්‍යවූ කොසොල් නුවරින් දකුණු පැත්තට ගියේය.
981. “හෙතෙම අස්සක, අලක, දෙරට මැද ගොධාවරී ගඟබඩ පිඬු සිඟා කෑමෙන්ද, පලවැල බුදිමින්ද, වාසය කළේය.
982. “ඒ තැන්ම ඇසුරු කොට ගමද මහත් වූහ. ඉන් ලත් ආදායමින් මහා දානයක් දුන්නේය.
983. “මහා දානයක් දී නැවත ආශ්‍රමයට ආවේය. එහි පිවිසි කල්හි අනික් බ්‍රාහ්මණයෙක් ආවේය.
984. “පීඩාවූ පා ඇති බියපත්වූ කිලිටි දත් ඇති හිස කිලිටිවූ හෙතෙම ඔහු කරා පැමිණ පන්සීයක් ඉල්වයි.
985. “ඔහු බාවාරීතෙම දැක අස්න දුන්නේය. සැපසනීප විචාරා මෙසේ කීයේය.
986. “බ්‍රාහ්මණය, මගේ යම් දියයුතු දෙයක් වේද, මා විසින් සියල්ල වියදම් කරණලදී. මා ලඟ පන්සියයක් නැති බව දැන ගන්න.
987. “පින්වත්තෙමේ ඉදින් ඉල්වන්නාවූ මට නොදෙන්නේද, සත්වෙනි දවසෙහි ඔබගේ මුදුන සත්කඩකට පැලෙන්නේය.
988. “හෙතෙම මල් කුසතණ ආදිය රැස්කොට ව්‍යාජ ගති අඟවා භයානක වචන කීයේය. ඔහුගේ ඒ වචනය අසා බාවාරීතෙමේ දුක් වූයේය.
989. “ශොක නැමැති හුලින් පීඩාවූයේ නිරාහාරව වියලෙයි. මෙබඳු සිතක් ඇත්තහුගේ සිත ධ්‍යානයෙන් ප්‍රීතිමත් කරගනියි.
990. “තැති ගත් දුකට පත් ඔහු දැක යහපත කැමති දෙවතාවෙක් බාවාරී වෙත පැමිණ මේ වචන කීයේය.
991. “ව්‍යාජ ගති අඟවන ඒ වස්තු කැමැත්තා මුදුන නොදනී. මුදුනෙහි හෝ මුදුන හෙළීමෙහි හෝ නුවණක් ඔහුට නැත.
992. “ඉදින් පින්වතා දන්නේද, විචාරණ ලද්දාවූ මට කියව, ඔබගේ මුදුනය මුදුනෙහි වැටීමය යන වචනය අසමු.
993. “මෙය මාද නොදනිමි. මෙහි මට නුවණක් නැත. මුදුනය, මුදුනෙහි වැටීමය යන දෙක දන්නේ බුදුවරුය.
994. “මේ පොළොවෙහි දැන් කවරෙක් මුදුන මුදුනෙහි හෙළීම යන දෙක දන්නේද, විචාරණ ලද මට එය කියව”
995. “ඔක්කාක රාජ වංශයෙහිවූ ශාක්‍ය පුත්‍රවූ ආලෝකය දෙන්නාවූ ලෝකයට නායකතෙමේ කිඹුල්වත් නුවරින් නික්මුණේය.
996. “සියලු ධර්මයන්හි පරතෙරට ගිය බ්‍රාහ්මණ බුද්ධවූ හෙතෙම සියලු විශිෂ්ට ඥාන බලයෙන් යුක්තය. සියලු ධර්මයන්හි දැනීම ඇත්තේය. සියලු ධර්මයන් ක්ෂය කිරීමට ගියේ පව් ක්ෂය කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුනාවූ,
997. “ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුවණැස් ඇත්තේ ලෝකයාට ධර්ම දේශනාකරයි. ඔබ උන්වහන්සේ වෙත පැමිණ විචාරව, හෙතෙම එය තොපට ප්‍රකාශ කරන්නේය.
998. “සම්බුද්ධ යන වචනය අසා බාවාරිතෙමේ සතුටුවූයේ. ශෝකය තුනී විය. මහත් ප්‍රීතියක්ද ලැබුනේය.
999. “සතුටුවූ ප්‍රීතිමත්වූ ඒ බාවාරිතෙමේ හටගත් ප්‍රීතිය ඇත්තේ ඒ දෙවතාවාගෙන් මෙසේ ඇසූයේය. “යම් තැනකට පැමිණ දෙපා ඇත්තවුන්ට අග්‍රවූ භාග්‍යවතුන් වහන්සේ නමස්කාර කරණ ලදී. ගමෙහි හෝ නියම්ගමෙහි එය කරණ ලදී. නැවත ජනපදයෙහිද එය කරණ ලදී.
1000. “මහත් ප්‍රඥා ඇති ශ්‍රේෂ්ඨ ප්‍රඥා ඇති පහවූ වැඩ ඇති මන්ත්‍ර දන්නා, ආශ්‍රව රහිත, මුදන සිඳීම දන්නා නර ශ්‍රේෂ්ඨවූ ඒ ශාක්‍ය පුත්‍ර ජිනතෙමේ සැවැත් නුවර කොසොල් රජුගේ මාලිගයෙහි වැඩ සිටී.”
1001. ඉක්බිති මන්ත්‍ර ශාස්ත්‍ර දත් බමුණුතෙම “මාණවකයෙනි, කියන්නෙමි, මාගේ වචන කියව් යයි” මාණවකයන්ට ආමන්ත්‍රණය කළසේක.