5. 1.
අජිත තරුණයාගේ ප්‍රශ්න
1036. “කවරකු විසින් ලෝකය වසන ලද්දේද, කවරකු නිසා නොපෙනේද, කවරකින් තැවරුනේ යයි කීයෙහිද, කුමක් ඇසූ කල්හි බිය ගෙන දේදැයි” ආයුෂ්මත් අජිතතෙමේ ඇසීය.
1037. “අජිතයෙනි, ලෝකය අවිද්‍යාවෙන් වැසෙන ලදී. මසුරුකම කරණකොට ගෙනද ප්‍රමාදය කරණකොට ගෙනද නොපෙනේ. තණ්හාව ආලෙප යයි කියමි. දුක මහත් භය වන්නේයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
1038. “හැමතන්හි තණ්හා වතුර ගලා බසිත්. තද ජල පහර වැළැක්වීම කුමක්ද? සැඩ පහරවල නැවතීම කියව. කවරකින් මහ වතුර වසනු ලැබේදැයි” අජිත විචාළේය.
1039. “අජිතය, ලෝකයෙහි කාමාදී යම් ජලපහරක් ඇද්ද සිහිය ඔවුන් වලක්වන බැම්මය. ඒ සිහියම කාමාදී ජල පහරවල වැළැක්මයයි කියමි. මොව්හු නුවණින් සම්පූර්ණයෙන් වසනු ලැබේයයි” බුදුහු වදාළසේක.
1040. “නිදුකානෙනි, ප්‍රඥාවද, සිහියද, නාමරූප දෙකද කවරතැනෙක්හි නැතිවේද විචාරණ ලද මට මෙය කියනු මැනවයි” අජිත තෙමේ විචාලේය.
1041. “අජිතය, යම් මේ ප්‍රශ්නයක් විචාළේද එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයද, රූපයද, ඉතිරි නොකොට නිරුද්ධවේද සිතේ නිරුද්ධයෙන් නාමරූප දෙක නිරුද්ධ වේ.
1042. “යම් අනිත්‍යාදී වශයෙන් කල්පනා කරණ ලද ධර්ම කෙනෙක් ඇද්ද මේ ලෝකයෙහි යම් ශෛක්ෂකෙනෙක් වෙද්ද, පණ්ඩිතවූ නුඹ වහන්සේ ඔවුන්ගේ ඉරියව් මට ප්‍රකාශ කළ මැනව.”
1043. “කාමයන්හි ගිජුනොවන්නේය. සිතින් අවුල් නොවන්නේය. සියලු ධර්මයන්හි දක්ෂවූ සිහි ඇති මහණතෙම පිරිනිවෙන්නේය.”
අජිතමාණවපුච්ඡා පඨමා නිට්ඨිතා.
5. 2.
තිස්ස මෙත්තෙය්‍ය මාණවකයාගේ ප්‍රශ්න
1044. “මේ ලෝකයෙහි කවරෙක් සතුටුවූයේද, කවරෙකුට තෘෂ්ණා දෘෂ්ටි ආදී කම්පාවීම් නොවෙද්ද අන්ත දෙක දැන මැද නුවණින් නොගෑවේද, මහා පුරුෂයායයි කවරෙකුට කියයිද මේ ලෝකයෙහි කවරෙක් මැසීම ඉක්ම වූයේදැයි” ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍යතෙම ඇසීය.
1045. භාග්‍යවතුන් වහන්සේ, “මෙත්තෙය්‍යය, කාමයන්හි දොස් දැක මාර්ග බ්‍රහ්මචර්යයන් යුක්තවූ පහවූ තෘෂ්ණා ඇති හැම කල්හි සිහියෙන් යුත් අනිත්‍යාදී වශයෙන් සිත නිවුනාවූ මහණෙක් වේද” ඔහුට කම්පාවීම් නැත්තාහ.
1046. “හෙතෙම අන්ත දෙක දැන මැද ප්‍රඥාවෙන් නොගෑවෙයි ඒ මහා පුරුෂයා යයි කියනු ලැබේ. හෙතෙම මේ ලෝකයෙහි මැසීම ඉක්ම වූයේයයි” වදාළසේක.
තිස්සමෙත්තෙය්‍යමාණවපුච්ඡා දුතියා නිට්ඨිතා.
5. 3.
පුණ්ණක මාණවකයාගේ ප්‍රශ්න
1047. “තෘෂ්ණාව නැතිකිරීමේ මුල දැනගන්නා ප්‍රශ්නයක් අසනු කැමැත්තෙන් පැමිණියේ වෙමි. මේ ලෝකයේ බොහෝ ජටිලයෝද, මනුෂ්‍යයෝද ක්ෂත්‍රියයෝද බ්‍රාහ්මණයෝද, දෙවියන්ට යාග කළාහුද, එය විචාරමි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ මැනවයි” ආයුෂ්මත් පුණ්ණතෙමේ විචාළේය.
1048. “පුණ්ණකය, මේ ලෝකයෙහි යම්කිසි බොහෝ මනුෂ්‍ය වූද ක්ෂත්‍රීයවූද බ්‍රාහ්මණවූ ඍෂිකෙනෙක් දෙවියන්ට යාග කළාහුද, පුණ්ණකය, රූපාදිය පතමින් මනුෂ්‍ය භාවය බලාපොරොත්තුවෙන් ජරාව ඇසුරුකළාහුම යාග කළාහුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.