4. 14.
තුවටක සූත්‍රය
921. “සූර්යයාට ඤාතිවූ මහර්ෂීවූ ඔබ විචාරම්. මහණතෙම ත්‍රිවිධ විවේකයද සත්තිස් බොධිපාක්ෂික ධර්මයද, කවර කරුණකින් දැන ස්කන්ධ ලෝකයෙහි කිසි රූප වේදනාදියක් නොගන්නේ කෙලෙස් සන්සිඳුවන්නේද,
922. “තෘෂ්ණා දෘෂ්ටීන්ගේ අවිද්‍යාදී මුලද මමය යන මානයද සියල්ල නුවණින් සන්සිඳුවන්නේය. සිය සතන්හි යම්කිසි තෘෂ්ණා කෙනෙක් උපදනාහුද ඒ තෘෂ්ණාවන්ගේ දුරුකිරීම පිණිස හැමකල්හි සිහි ඇතිව හික්මෙන්නේයයි” භාග්‍යවත් තෙම වදාළේය.
923. “තමා කෙරෙහිවූ නොහොත් පිටත ආචාර්ය උපාධ්‍යායයන් කෙරෙහිද යම්කිසි උසස් කුලවත් බව මුල්කොට ඇති ගුණයක් මැනවින් දන්නේ නම් ඒ ගුණය කරණ කොට ගෙන මානය නොකරන්නේය. ඒ උඩඟුකම කෙලෙස් ගිනි නිවීමකැයි බුද්ධාදී උත්තමයන් විසින් නොකියන ලදී.
924. “ශ්රේෂ්ඨයෙකැයිද හීනයෙකැයිද නොහොත් සමානයෙකැයිද මානයෙන් නොහඟින්නේ නොයෙක් ආකාරයෙන් යුක්තවූ අතිමානය කල්පනා කරමින් නොසිටින්නේය.
925. “මහණතෙම සිය සිතෙහිවූ රාගාදී ක්ලෙශයන් සන්සිඳුවන්නේය. අන් උපායකින් නිර්වාණය නොසොයන්නේය. සියසතන්හිවූ රාගාදී ක්ලෙශ සමූහය සන්සිඳුවන ලද්දාහුට සියල්ල සැමදා පවත්නේයයි දෘෂ්ටියක් නැත. සියල්ල විනාශවන්නේ යයි දෘෂ්ටියක් හෝ කොයින්ද.
926. “මහාසාගරයාගේ මැද රළ යම්සේ නොහට ගනීද නොසැලී සිටියේමවේ. එසේ තෘෂ්ණා නැති රහත් මහණ තෙම අෂ්ටලොක ධර්මයෙන් නොසැලෙමින් සිටියෙක් වන්නේය. එබඳු රහත් මහණතෙම ඇතුළත බැහැර කිසිවක් කෙරෙහි රාගාදී කෙලෙස් ඇති නොකරන්නේය.
927. “විවෘතවූ පසැස් ඇත්ත, උපද්‍රවයන් දුරුකරන්නාවූ තමා විසින් ප්රත්යක්ෂ කරණ ලද ධර්මය ප්‍රකාශ කරණ ලදී. වහන්ස, ඔබගේ යහපත්වූ ප්රතිපත්තියද නොහොත් ප්රාතිමොක්ෂ ශීලයද සමාධියද වදාළ මැනව.”
928. “ඇස් නිසා ලොල්බවක් නොවන්නේය. ග්‍රාම්‍ය කථාවට කන වසන්නේ නම් මැනව. රසයෙහි ගිජු නොවන්නේය. ලොව කිසි රූප වේදනාදියක් නොගන්නේය.
929. “මහණතෙම යම් කලෙක්හි (ඇස්රෝගාදී) රෝගයකින් යුක්තවූයේද එකල්හි කිසිවක්හි වැලපීමක් නොකරන්නේ නම් මැනව. කාමභවාදියද නොපතන්නේ නම් මැනව. බිය උපදවන අරමුණු නිමිතිකොටගෙනද නොවෙවුලන්නේ නම් මැනව.
930. “මහණතෙම ආහාරයන් පිළිබඳවූද නැවත පානයන් පිළිබඳවූද කඩා කෑ යුතු දේ පිළිබඳවූද තවද වස්ත්‍රයන් පිළිබඳ වූද යම් කිසිවක් ලැබ ආරක්ෂාකොට තැබීම නොකරන්නේ නම් මැනව. ඒ ආහාරපාන වස්ත්‍රාදීන් නොලබන්නේ නොතැතිගන්නේ නම් මැනව.
931. “උසස් සිත එකඟ කරණ මහණතෙම ඇවිදින්නෙක් නොවිය යුතුය. කුකුසින් දුරුවිය යුතුය. නොපමා විය යුතුය. නැවත මහණතෙම ස්වල්ප ශබ්ද ඇති සේනාසනයන්හිද යහන්හිද ඉරියවු පවත් වන්නේය.