4. 15.
අත්තදණ්ඩ සූත්‍රය
939. “බිය තමාගේ දුශ්චරිත හේතුවෙන් උපන්නේය. පීඩාවට පැමිණියාවූ ජනයාම බලව්. මවිසින් යම්සේ සංවෙගයට පැමිණෙන ලද්දේද එසේ තොපට සංවෙගයද පවසන්නෙමි.
940. “දියත්තෙක්හි මසුන් මෙන් සැලෙන සත්ව සමූහයා දැකත් ඔවුනොවුන් හා සමග ප්‍රතිවිරුද්ධවූ නානා සත්වයන් දැකත් මා කරා බිය පැමිණියේය.
941. “ලෝකයතෙම හාත්පසින් අසාර වන්නේය. සියලු දික්හිවූ සංස්කාරයෝ සැලෙන ලද්දෝවෙත්. තමහට පිහිටක් බලාපොරොත්තු වන්නාවූ මම ජරාදියෙන් නොවැසුන කිසියම් තැනක් නොදැක්කෙමි.
942. (යෞවනය ආදියෙහි) අවසානයෙහිම (ජරා ආදියෙන්) පහර කෑ සිත් ඇති සත්වයන් දැක මට නොඇල්මක් ඇති විය. ඉක්බිති මේ සත්වයන් කෙරෙහි වූ, දැකීමට දුෂ්කර වූ, සිත ඇසුරු කළ (රාගාදී) හුල මම දුටුවෙමි.
943. “යම්බඳු රාගාදී හුලකින් විදුනු තැනැත්තා සියලු දිගට දුවන්නේද ඒ රාගාදීහුලම උපුටාපියා නොදුවන්නේය. නොකිඳෙන්නේය.
944. “සත්වලෝකයෙහි යම් පස්කම් ගුණකෙනෙක් ඇද්ද ඒ නිමිතිකොටගෙන ශිල්පද කියනු ලැබෙත්. ඒ පස්කම් ගුණයන් කෙරෙහි යුක්ත ප්‍රයුක්තවූයේ නොවන්නේය වස්තුකාම ක්ලෙශ කාමයන් නුවණින් විනිවිද දැන තමාගේ රාගාදීන්ගේ නිවීමට හික්මෙන්නේය.
945. “මුනිතෙම සත්‍යයෙන් යුක්තවූයේ වන්නේය. ත්‍රිවිධ නොහික්වීම්වලින් යුක්ත නොවන්නේය. මායාවෙන් යුක්ත නොවන්නේය. කේළාම් නොකියන්නේය. ක්‍රොධ නැති වන්නේය, ලෝභ අකුශලයද මාර්ග සත්‍යයද ඉක්මවන්නේය.
946. “නිවන් කෙරෙහි නැමුණු සිත් ඇති සත්වතෙම නිදිබරගතියද, අලසකමද සිතේ මැලිකම මැඩපවත්වන්නේය, සිහිනැතිව නොවසන්නේය, මාන්නය අධික බැව්හි නොයෙදෙන්නේය.
947. “සාහසික හැසිරීමෙන් වෙන්ව හැසිරෙන්නේය. බොරුවෙන් නොයන්නේය. අටවිසිරූපය කෙරෙහි ඇල්මක් නොකරන්නේය, මානය පිරිසිඳ දන්නේය.
948. “ඉක්මගිය රූපවේදනාදියට සතුටු නොවන්නේය, පවත්නා රූපවේදනාදිය කෙරෙහි කැමැත්තක් නොකරන්නේය. නැසෙන ඇස් ආදියට ශොක නොකරන්නේය, තෘෂ්ණාව ආශ්‍රය නොකරන්නේය.
949. “මේ තෘෂ්ණාව මගේයයි කියමි. සැඩවතුරයයිද කියමි. ප්‍රතිසන්ධියෙහි පටන් දුවන අර්ථයෙන් ආජවයයිද කියමි. මගේ යයි කියන බැවින් ජල්පනයයි කියමි. ආලම්බනයයි කියමි. කම්පාකිරීමකැයි කියමි. කාම නමැති මඩ දුකසේ ඉක්ම වියයුත්තේයයි කියමි.
950. “සත්‍යයෙන් බැහැර නොයන්නාවූ ඒ ක්ෂීණාශ්‍රව මුනිතෙම නිර්වාණ නමැති ගොඩබිම්හි සිටින්නේය. හෙතෙම ඒකාන්තයෙන් ද්වාදසායතනය බැහැරකොට ශාන්තවූයේ යයි කියනු ලැබේ.
951. “හෙතෙම ඒකාන්තයෙන් සංස්කාර ධර්මය දැන තෘෂ්ණාදෘෂ්ටි නිශ්‍රයරහිතවූ පණ්ඩිතයෙකු වූයේ චතුර්මාර්ගඥානයට පැමිණියෙකි. හෙතෙම ලෝකයෙහි මැනවින් ඉරියව් පවත්වන්නෙක. මේ හැම ලෙව්හි කිසිවකුහටත් ඇලුම් නොකරන්නේය.