3. 9.
වාසෙට්ඨ සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ ඉච්ඡානංගල නුවර ඉච්ඡානංගල වනලැහැබෙහි වාසය කරණසේක. එකල්හි වනාහි බොහෝ ප්රසිද්ධ මහාසාර බ්රාහ්මණයෝ ඉච්ඡානංගලයෙහි වාසය කෙරෙත්. ඒ කවරහුද, වංකී, තාරුක්ඛ, පොක්ඛරසාතී, ජානුස්සොනී, තොදෙය්ය යන බ්රාහ්මණයෝද අනිකුදු ප්රසිද්ධ මහාසාර බ්රාහ්මණයෝද වෙති. පා සුඛය පිණිස සක්මන් කරණ හැසිරෙන වාසෙට්ඨ භාරද්වාජ යන තරුණයන් අතර මේ කථාව විය.
පින්වත, කෙසේ බ්රාහ්මණයෙක්වේද, භාරද්වාජ මානවක තෙම පින්වත, යම්තැනෙක සිට මවු පිය දෙපසින් යහපත්ව උපන්නේවේද, අමිශ්ර කුසක් ඇති බැමිණියකගේ කුසින් උපන්නේද, සත්වෙනි පිය පරම්පරාව දක්වා හීන ජාතියයි කියා බැහැර නොකරණ ලද්දේ ආක්රොශ නොකරණ ලද්දේ වේද, මෙපමණකින් බ්රාහ්මණයෙක් වේයයි කීයේය.
වාසෙට්ඨ තරුණතෙම පින්වත යම්තැනක සිට සිල්වත් වේද, සිරිත්වලින් යුක්තවේද, මෙපමණකින් බමුණෙකුවේ යයි කීයේය. භාරද්වාජ තරුණතෙමේ වාසෙට්ඨ තරුණයාට අවබෝධ කරවන්ට නොහැකිවිය. වාසෙට්ඨ තරුණතෙම භාරද්වාජ තරුණයාට අවබෝධ කරන්නට නොහැකිවිය.
ඉක්බිති වාසෙට්ඨ තරුණතෙම භාරද්වාජ තරුණයාට කථා කෙළේය. “පින්වත් භාරද්වාජය, ශාක්ය වංශයෙන් පැවිදිවූ ශ්රමණ ගෞතමතෙමේ ඉච්ඡානංගල නුවර ඉච්ඡානංගල වනලැහැබෙහි වාසය කරණසේක. ඒ භාග්යවත් ගෞතමයන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්මා සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තරෝ පුරිසදම්මසාරථිය, සත්තා දේවමනුස්සානංය, බුද්ධය, භගවාය. මෙබඳු යහපත් කීර්ති ශබ්දයක් පැනනැංගේය. පින්වත් භාරද්වාජය යමු. ශ්රමණ ගෞතමයන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණෙමු. පැමිණ ශ්රමණ ගෞතමයන් වහන්සේගෙන් මේ කාරණය විචාරමු. අපට ශ්රමණ ගෞතමයන් වහන්සේ යම්විධියක ප්රකාශකෙරේද, එසේ එය දරමු. “පින්වත එසේයයි” භාරද්වාජ තරුණතෙම වාසෙට්ඨ තරුණයාට පිළිතුරු දුන්නේය.
ඉක්බිති වාසෙට්ඨ භාරද්වාජ තරුණයෝ භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාවකොට නිමවා එකත් පසෙක හිඳගත්තාහ. එකත් පසෙකහුන් වාසෙට්ඨ මානවක තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීයේය.
597. “අපි ත්රිවිද්යා ඇත්තෝයයි ආචාර්යයන් විසින් කියන ලද්දෙමු. අපිද එසේ කියමු. දෙදෙනාගෙන් මම පොක්ඛරසාතිගේ ගෝලයෙක්මි. මේ තෙමේ තාරුක්ඛගේ ගෝලයෙකි.
598. “ත්රිවිද්යායයි යමක් කියන ලද ද අපි එහි නිෂ්ටාවට ගියෙමු. පද වශයෙන් ප්රකාශ කිරීමෙන් වෙදයෙහි ගුරුවරුන් සමානවෙමු.
599. “ගෞතමයන්වහන්ස, ඒ අපට විවාදයක් ඇත්තේය. එනම් භාරද්වාජතෙම ජාතියෙන් බ්රාහ්මණයෙක් වේයයි කියයි. ඇස් ඇත්ත, මම ක්රමයෙන් බ්රාහ්මණයෙක් වෙමියි කියමි.
600. “ඒ අපි ඔවුනොවුන් පිළිගන්වන්නට නොහැකි වෙමු. බුදුන් යයි ප්රකට භාග්යවතුන් වහන්සේගෙන් අසන්නට පැමිණියෙමු.
601. “ඇඳිලි බැඳගත් ජනයෝ ලෝකයෙහි සම්පූර්ණවූ චන්ද්රයා වැනි ගෞතමයන් වහන්සේ වෙත වඳිමින් නමස්කාර කරත්.
602. “ලෝකයට පහළ වූ ඇසක් වැනි ගෞතමයන් වහන්සේගෙන් විචාරමු. උත්පත්තියෙන් බ්රාහ්මණයෙක් වේද, නොහොත් කර්මයෙන් බ්රාහ්මණයෙක් වේද නොදන්නා හෙයින් අපි බ්රාහ්මණයා යම් පරිද්දෙකින් දනිමුද? එසේ අපට ප්රකාශ කරණු මැනවි.
603. “භාග්යවතුන් වහන්සේ වාසෙට්ඨය මම තොපට ඔවුන් පිළිවෙළින් ඒ වූ පරිද්දෙන් වෘක්ෂලතාවන්ගේද සත්වයන්ගේද ජාති භේදය ප්රකාශ කරන්නෙමි. ජාතීහු අනිකක් අනිකක් මය. (නා නා ප්රකාරය.)
604. “තෘණයන්හිත්, වෘක්ෂයන්හිත්, ජාති භෙදය දනිව්. එතකුදු වුවත් අපි තෘණය, අපි වෘක්ෂයයි නො කියයි. ජාතීහු නා නා ප්රකාරය.
605. “ඉක්බිති පණුවන් කෙරෙහිද පළගැටියන් කෙරෙහිද කූඹි හින්නන් කෙරෙහිද, ජාතිභේද ඇත. ඔවුන්ට මුල් වූ සතුන්ට සමාන ජාති ඇත්තේය. ජාතීහු නා නා ප්රකාරය.
606. “කුඩාවූද ලොකුවූද, සිව්පාවුන් කෙරෙහිද ජාති භෙදයවේ. ඔවුන්ට මුල් වූ සතුන්ට සමාන ජාති ඇත්තේය. ජාතිය නා නා ප්රකාරය.