3. 10.
කොකාලික සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති කොකාලික භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් කොකාලික භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසීය:
“ස්වාමීනි, සැරියුත් මුගලන් දෙනම පාපිච්ඡයහ (ලමු ආශා ඇත්තෝය), ලාමක ආශාවන්ගේ වසඟයට ගියෝය” යි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කොකාලික භික්ෂුවට මෙය වදාළ සේක:
“කොකාලික, එසේ නොකියව, කොකාලික එසේ නොකියව. කොකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදවා ගන්න. සැරියුත් මුගලන් දෙනම ප්‍රියශීලීය.”
දෙවනුවත් කොකාලික භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශ්‍රද්ධාවට සුදුසුය, විශ්වාසයට සුදුසුය (යනු සැබෑවකි), එහෙත් සැරියුත් මුගලන් දෙනම පාපිච්ඡයහ, ලාමක ආශාවන්ගේ වසඟයට ගියෝය” යි.
දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ කොකාලික භික්ෂුවට මෙය වදාළ සේක: “කොකාලික, එසේ නොකියව, කොකාලික එසේ නොකියව. කොකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදවා ගන්න. සැරියුත් මුගලන් දෙනම ප්‍රියශීලීය.”
තෙවනුවත් කොකාලික භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශ්‍රද්ධාවට සුදුසුය, විශ්වාසයට සුදුසුය, එහෙත් සැරියුත් මුගලන් දෙනම පාපිච්ඡයහ, ලාමක ආශාවන්ගේ වසඟයට ගියෝය” යි.
තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ කොකාලික භික්ෂුවට මෙය වදාළ සේක: “කොකාලික, එසේ නොකියව, කොකාලික එසේ නොකියව. කොකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදවා ගන්න. සැරියුත් මුගලන් දෙනම ප්‍රියශීලීය.”
ඉක්බිති කොකාලික භික්ෂුව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වැඳ පැදකුණු කොට ගියේය. ගිය නොබෝ වේලාවකින් කොකාලික භික්ෂුවගේ මුළු ශරීරය පුරා අබ ඇට පමණ ගෙඩි නැගුනේය. අබ ඇට පමණ වී මුං ඇට පමණ විය. මුං ඇට පමණ වී කඩල ඇට පමණ විය. කඩල ඇට පමණ වී බොරළු දොඹ ඇට පමණ විය. බොරළු දොඹ ඇට පමණ වී මසන් ගෙඩි පමණ විය. මසන් ගෙඩි පමණ වී නෙල්ලි ගෙඩි පමණ විය. නෙල්ලි ගෙඩි පමණ වී ගැට බෙලි ගෙඩි පමණ විය. ගැට බෙලි ගෙඩි පමණ වී ඉදුණු බෙලි ගෙඩි පමණ විය. ඉදුණු බෙලි ගෙඩි පමණ වී පැලුනේය. සැරවද ලේ ද වැගිරුණේය.