3. 6.
සභිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සභිය පරිබ්‍රාජකයාගේ පැරණි සහලේ නෑ දෙවතාවකු විසින් ප්‍රශ්න උගන්වන ලද්දාහු වෙත්. සභිය තොප විසින් විචාරණ ලද මේ ප්‍රශ්න යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ප්‍රකාශ කරන්නේද ඔහු වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙව. ඉක්බිති සභිය පරිබ්‍රාජක තෙම ඒ දෙවතාවාගේ සමීපයෙහි ඒ ප්‍රශ්න උගෙන,
පිරිස් ඇති ශාස්තෘවරුන් යයි අඟවන ගිහි පැවිද්දන්ගේ ගුරුවරුවූ ප්‍රසිද්ධවූ ලාභ ඇති තීර්ථක නායකවූ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත කරණලද යම් මේ පූරණ කාශ්‍යපය, මක්ඛලිගොසාලය, අජිතකෙසකම්බලය, පකුධ කත්‍යායනය, සඤ්ජය බෙල්ලට්ඨි පුත්‍රය, නිඝණ්ඨනාථපුත්‍රය යන ඔවුන් වෙත පැමිණ ඒ ප්‍රශ්න අසයි. සභිය පරිබ්‍රාජකයා විසින් ප්‍රශ්න ඇසූකල්හි පිළිතුරු නොදෙත්. උත්තර නොදෙන්නාහු කොපයද, තරහද, නොසතුටද, ප්‍රකාශ කරත්. නැවත සභිය පරිබ්‍රාජකයාගෙන්ම අසත්. ඉක්බිති සභිය පරිබ්‍රාජකයාට මෙසේ සිතුනි: යම් ඒ පින්වත් මහණ බමුණු කෙනෙක් ඇද්ද, එනම් පූරණ කාශ්‍යපය, මක්ඛලිගොසාලය, අජිතකෙසකම්බලය, පකුධ කත්‍යායනය, සඤ්ජය බෙල්ලට්ඨි පුත්‍රය, නිඝණ්ඨනාථපුත්‍රය යන මොවුහු පිරිස් ඇත්තාහ, මා විසින් ප්‍රශ්න විචාරණ ලද්දාවූ ඔව්හු පිළිතුරු නොදෙත්. පිළිතුරු නොදෙන්නාහු මගෙන්ම අසත්. මම ගිහිවී කාමයන් අනුභව කරන්නෙම් නම් යහපතැයි” මේ සිත විය.
ඉක්බිති සභිය පරිබ්‍රාජකයාට මේ සිත විය. ‘මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේද පිරිස් ඇත්තෙකි. සමූහ ඇත්තෙකි. ගිහි පැවිද්දන්ගේ ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කෙනෙකි. තීර්ථක නායකයෙකි. බොහෝදෙනා විසින් යහපතැයි ප්‍රසිද්ධය. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත පැමිණ මේ ප්‍රශ්න අසන්නෙම් නම් යෙහෙකැයි’ සිතීය.
ඉක්බිති සභිය පරිබ්‍රාජකයාට මේ සිත විය. ‘දිරූ වැඩි මහලුවූ නාකිවූ බොහෝ කල් ගිය පශ්චිම වයසට පැමිණි ස්ථවිරවූ බොහෝ රාත්‍රි දන්නා පැවිදිව බොහෝ කල් ගිය, එනම් පූරණ කාශ්‍යපය, මක්ඛලිගොසාලය, අජිතකෙසකම්බලය, පකුධ කත්‍යායනය, සඤ්ජය බෙල්ලට්ඨි පුත්‍රය, නිඝණ්ඨනාථපුත්‍රය යන ඔව්හුද මා විසින් ප්‍රශ්න අසන ලද්දාහු නොකියත් නොකියන්නාහු කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කරත්. නැවත අන් කෙනෙකුගෙන් අසත්ද, කිමෙක්ද, මට ශ්‍රමණ ගෞතමතෙම මේ ප්‍රශ්න විචාරන ලද්දේ ප්‍රකාශ කෙරේද, ශ්‍රමණ ගෞතම තෙමේද, උත්පත්තියෙන් බාල වයස් ඇත්තෙකි. පැවිදිවී අලුතය. ඉක්බිති සභිය පරිබ්‍රාජකයාට මේ අදහසවීය. ශ්‍රමණයන් වනාහි බාල වයස්යයි අවමන් නොකළ යුතුය. ඉදින් ශ්‍රමණ තෙමේ බාල වයස් වුවත් හෙතෙමේ මහත් ඍද්ධි ඇත්තේය. මහත් ආනුභාව ඇත්තේය. මම ශ්‍රමණ ගෞතමයන් වෙත පැමිණ මේ ප්‍රශ්න අසන්නෙම් නම් යෙහෙකැයි’ යනුවෙනි.
ඉක්බිති සභිය පරිබ්‍රාජකතෙමේ රජගහ නුවර යම් තැනෙක්හිද එහි ගමන් කෙළේය. පිළිවෙළින් ගමන් කරන්නේ රජගහ නුවර වෙළුවනය යම් තැනෙක්හිද කලන්දක නිවාපය යම් තැනෙක්හිද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සභිය පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවන් කීයේය.
513. ඇසීමට සැක ඇත්තෙමි. ප්‍රශ්න කෙරෙහි සැක ඇත්තෙමි. ප්‍රශ්න ඇසීමට ඉතාම කැමැත්තෙන් පැමිණියෙමි. ප්‍රශ්නයන් මා විසින් විචාරණ ලද්දේ ඔවුන් අවසන් කරන්නෙකු වේවා පිළිවෙළින් ප්‍රශ්නයන්ට පිළිතුරු පාළියට නගා මට ප්‍රකාශ කරන්නැයි” සභිය කියා සිටියේය.
514. සභිය, ප්‍රශ්න විචාරන්නට කැමැත්තෙන් දුර සිට ආයෙහිද? විචාරණ ලද ඒ ප්‍රශ්න නිරාකරණය කරමි. තොපට ප්‍රශ්න අනුව අර්ථයට ගැලපෙන පාළියට නගා එය ප්‍රකාශ කරමි.
515. යම් කිසිවෙක් සිත කැමැත්තෙහි නම් සභිය මාගෙන් ඒ ප්‍රශ්න අසව. ඒ ඒ ප්‍රශ්නය මම අවසන් කරමි.
ඉක්බිති සභිය පරිබ්‍රාජකයාට මේ සිත විය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්යයි, පින්වත, ඒකාන්තයෙන් අද්භූතයි. යම්හෙයකින් අනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙන් මම අවකාශ මාත්‍රයකුදු නොලද්දෙමි. මට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් මේ අවකාශය කරණ ලද්දේ යයි.” සතුටුවූයේ ප්‍රමුදිතවූයේ ප්‍රීතිය හා සොම්නස ඇතිවූයේ භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න ඇසූයේය.