3. 7.
සෙලසූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ එක් දහස් දෙසිය පණහක් පමණ භික්ෂු සංඝයා සමග උතුරෙහිවූ අඟු ජනපදයෙහි චාරිකා කරණසේක් ආපණ නම්වූ උතුරෙහිවූ අඟු ජනපද වාසීන්ගේ නියම් ගමක්වීද, එහි වැඩිසේක. කෙණිය ජටිලතෙම ශාක්යකුලයෙන් පැවිදිවූ ශ්රමණ භවත් ගෞතමයන් වහන්සේ අඟු ජනපදයෙහි එක්දහස් දෙසියපණසක් පමණ භික්ෂු සංඝයා ඇති මහත් භික්ෂු සමූහයක් සමග ඇවිදින ගමන් ආපණයට පැමිණියේයි ඇසුවේය. ඒ භාග්යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ මෙබඳු කීර්ති ශබ්දයක් පැනනැංගේය එනම් ‘මේ කාරණයෙනුදු ඒ භාග්යවත් බුදුරජාණන් වහන්සේ අර්හත්ය, සම්යක් සම්බුද්ධය, විද්යාවන්ගෙන් හා චරණයන් ගෙන් යුක්තය, සුගතය, ලොකවිදූය, පුරුෂයන් දමනය කරණ නිරුත්තර සාරථියෙකි. දෙවිමිනිසුන්ගේ ශාස්තෘවරයාය. බුද්ධය, පින් ඇත්තේයයි’ කියායි. ‘හෙතෙමේ දෙවියන් සහිත මරුන් සහිත, බ්රහ්මයා සහිත, ශ්රමණ බ්රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සත්වලෝකය තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ප්රකාශකරයි, හෙතෙම මුල යහපත් මැද යහපත් අග යහපත් අර්ථ සහිත ව්යඤ්ජන සහිත සම්පූර්ණයෙන් පිරුණු පිරිසිදු බ්රහ්මචර්ය ප්රකාශ කරයි. එබඳු රහතන්ගේ දර්ශනය යහපත්යයි’ සිතුයේය.
ඉක්බිති කෙණිය ජලටිලතෙමේ භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාවකොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කෙණිය ජලටියාට භාග්යවතුන් වහන්සේ දැහැමිකථාවෙන් කරුණු පෙන්විය. පින් කළයුතු බැව්හි සමාදන් කරවූයේය. වීර්ය වැඩිකළේය, සතුටු කෙළේය.
ඉක්බිති කෙණිය ජටිලතෙමේ භාග්යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් අනුසස් පෙන්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, වීර්ය වැඩිකරණ ලද්දේ, සතුටු කරණ ලද්දේ භාග්යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග සෙට දින දානය ඉවසනු මැනැවැයි” කියේය. මෙසේ කීකල්හි භාග්යවතුන් වහන්සේ කෙණිය ජටිලයාට “කෙණිය, භික්ෂු සංඝයා මහත්ය, එක්දහස් දෙසිය පණසක් පමණය, ඔබද බමුණන් කෙරෙහි පැහැදුනෙකි”යි වදාළසේක. දෙවනුවත් කෙණිය ජටිලතෙමේ භාග්යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, භික්ෂු සංඝයා එක්දහස්දෙසිය පණසක් වුවත් මම බ්රාහ්මණයන් කෙරෙහි පැහැදුන කෙනෙක්වුවත්, භවත් ගෞතමයන් වහන්සේ හෙට භික්ෂු සංඝයා සමග මගේ දානය ඉවසනු මැනවැයි” ආරාධනා කළේය. දෙවනුවත් භාග්යවතුන් වහන්සේ කෙණිය ජටිලයාට “කෙණිය, භික්ෂු සංඝයා මහත්ය, එක්දහස් දෙසිය පණසක් පමණය, ඔබද බමුණන් කෙරෙහි පැහැදුනෙකි”යි වදාළසේක. තුන්වනුවත් කෙණිය ජටිලතෙමේ භාග්යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, භික්ෂු සංඝයා එක්දහස්දෙසිය පණසක් වුවත් මම බ්රාහ්මණයන් කෙරෙහි පැහැදුන කෙනෙක්වුවත්, භවත් ගෞතමයන් වහන්සේ හෙට භික්ෂු සංඝයා සමග මගේ දානය ඉවසනු මැනවැයි” ආරාධනා කළේය.
භාග්යවතුන් වහන්සේ කථානොකර ඉවසූසේක.
ඉක්බිති කෙණිය ජටිලතෙම භාග්යවතුන් වහන්සේ ඉවසා වදාළ බව දැන අස්නෙන් නැගිට තමාගේ ආශ්රමය යම් තැනෙක්හිද එහි ගියේය. ගොස් චිත්රාමාත්යයන්ටද නෑ සහලේ නෑයනටද “මගේ නෑ සහලේ නෑ වූ පින්වත්හු අසත්වා. මා විසින් මාගේ පින්වත් ශ්රමණ ගෞතමයන් හෙට දවසට පිණිස භික්ෂු සංඝයා සමග දනට ආරාධනා කෙළෙමි, යම්කාරණයකින් මට කයින් කරණ වැඩපලකට සහභාගිවව් යයි” කීවාහුය.
“පින්වත, එසේයයි” කෙණිය ජටිලයාගේ මිත්රයෝද අමාත්යයෝද නෑසහලේ නෑයෝද කෙණිය ජටිලයාට පිළිවදන්දී, සමහරෙක් ලිප් බඳිත්, සමහරෙක් දර පලත්, සමහරෙක් භාජන සෝදත් ඇතැම්කෙනෙක් දියසැලි පුරවත්, ඇතැම් කෙනෙක් අසුන් පනවත්, කෙණිය ජටිල තෙමේ තමාම දන්ශාලාව සරසයි.