3. 5.
මාඝ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණසේක. ඉක්බිති මාඝ මාණවකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාවකොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි මාඝ මානවකතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය:
“භවත් ගෞතමයන් වහන්ස, මම යාචක ජනයාගේ වචන දන්නා දීමට ඉල්වීමට සුදුසු දායකයෙක්ද, දානපතියෙක්ද වෙමි. ධර්මයෙන් භොගයන් සොයමි. ධර්මයෙන් භොගයන් සොයා ධර්මයෙන් ලත් වස්තුවෙන් ධර්මයෙන් පැමිණි වස්තුවෙන් එකෙකුටද දෙමි. දෙදෙනෙකුටද දෙමි. තුන් දෙනෙකුටද දෙමි. සතරදෙනෙකුට දෙමි. පස්දෙනෙකුටද දෙමි. සදෙනෙකුට දෙමි, සත්දෙනෙකුටද දෙමි, අටදෙනෙකුටද දෙමි, නවදෙනෙකුට දෙමි. දසදෙනෙකුටද දෙමි. විසිදෙනෙකුටද දෙමි. තිස්දෙනෙකුටද දෙමි. සතළිස් දෙනෙකුටද දෙමි. පනස් දෙනෙකුටද දෙමි. සිය දෙනෙකුටද දෙමි. වැඩියද දෙමි. භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද මම මෙසේ දෙන්නේ මෙසේ පුදන්නේ, බොහෝ පින් රැස්කරම්ද?”
“ඒකාන්තයෙන්ම මාණවකය, ඔබ මෙසේ දෙමින් මෙසේ පුදමින්, දැහැමින් වස්තුව සොයා දැහැමින් ලැබූ දැහැමින් පැමිණි භෝගයන්ගෙන් එකෙකුටද දෙයි... සිය දෙනෙකුටද දෙයි, ඊට වැඩියෙන්ද දෙයි, බොහෝ පින් රැස්කරන්නේය.”
ඉක්බිති මාඝ මානවකතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීයේය.
“කසට වස්ත්‍ර හඳින ගිජු නොවී වාසය කරණ වචන දන්නාවූ ගෞතමයන් වහන්සේ ගෙන් විචාරමි. පින් බලාපොරොත්තුවන පින් කැමැත්තා, දානපති ගෘහස්ථයෙක් යාචකයන්ගේ වචන දන්නේ නම්, මෙලොව ආහාරපාන අන්‍යයන්ට දෙන්නේ, යාගකරන්නාහට කවර තැනෙක යාග කළොත් (පූජාව) පිරිසිදු වේද?”
“මාඝය, මේ ලෝකයෙහි දීමට ඉල්ලීමට සුදුසු දානපතිවූ යම් ගෘහස්ථයෙක් පින් කැමැත්තේ පින බලාපොරොත්තුවෙන් පූජාකරයිද, අන්‍යයන්ට ආහාරපාන දෙමින් දක්ෂිණාර්හයන් (සුදුස්සන්) සතුටු කරන්නේය.”
“මේ ලෝකයෙහි දීමට ඉල්ලීමට සුදුසු දානපතිවූ යම් ගෘහස්ථයෙක් පින් කැමැත්තේ පින බලාපොරොත්තුවෙන් පූජාකරයිද, අන්‍යයන්ට ආහාරපාන දෙමින්... භාග්‍යවතුන් වහන්සේ මට (එබඳු) දක්ෂිණාර්හයන් වදාළ මැනව.”
“යම් කෙනෙක් ඒකාන්තයෙන් ලෝකයෙහි (ආශාවන්හි) නොඇලී හැසිරෙත්ද, කිසිවක් නැත්තාහුද (අකිඤ්චන), හුදකලාවූවාහුද (කේවලී), සංයත ආත්ම ඇත්තාහුද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.”
“යම් කෙනෙක් සියලු සංයෝජන බැමි සිඳ දැමුනාහුද, කෙලෙසුන්ගෙන් මිදුනාහුද, දුක් නැත්තාහුද, ආශා නැත්තාහුද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.”
“යම් කෙනෙක් සියලු සංයෝජන බැමිවලින් විශේෂයෙන් මිදුනාහුද, දැමුනාහුද, කෙලෙසුන්ගෙන් මිදුනාහුද, දුක් නැත්තාහුද, ආශා නැත්තාහුද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.”
“රාගයද, ද්වේෂයද, මෝහයද පහකොට ක්ෂීණාශ්‍රව වූවාහුද, වැස නිමවන ලද බඹසර ඇත්තාහුද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.”
“යම් කෙනෙකුන් කෙරෙහි මායාව නොවසයිද, මානයක් නොවේද, යම් කෙනෙක් පහවූ ලෝභ ඇත්තේද, මමත්වය නැත්තේද, ආශා නැත්තේද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.”
“යම් කෙනෙක් ඒකාන්තයෙන් තෘෂ්ණාවන්හි නොවැටුණහුද, සැඩවතුරු තරණය කොට මමත්වය නැතිව හැසිරෙද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.”
“යම් කෙනෙකුන්ට ලෝකයෙහි කිසි තැනක තෘෂ්ණාවක් නැද්ද, භවයෙන් භවයට (මෙහි හෝ පරලොව) නොයෙද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.”