3. 4.
සුන්දරිකභාරද්වාජ සූත්‍රය
“මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට සුන්දරිකානදී තීරයෙහි වාසය කරණසේක. එකල්හි වනාහි සුන්දරික භාරද්වාජ බමුණුතෙම සුන්දරිකා නදී තීරයෙහි ගිනිදල්වයි. ගිනිදෙවියා පුදයි, ඉක්බිති සුන්දරික භාරද්වාජ බමුණුතෙම ගිනිදල්වා ගිනිදෙවියා පුදා අස්නෙන් නැගිට හාත්පස සතර දිග බලයි. මේ යාගයේ ඉතිරි කොටසින් කවරෙක් වළඳවන්නේද කියායි, සුන්දරික භාරද්වාජ බමුණුතෙම, එක්තරා ගසක් මුල හිස සහිතව පොරවා වැඩසිටි බුදුන් දැක වමතින් යාගශෙෂයත් දකුණතින් කෙණ්ඩියත්ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ පාහඬින් හිස් වැසුම ඉවත් කළසේක. ඉක්බිති සුන්දරික භාරද්වාජ බමුණු තෙම ‘මේ පින්වත් තෙමේ හිසමුඩුකළ කෙනෙකි. මේ පින්වත් තෙමේ මුණ්ඩකයෙකැයි” ආපසු යන්නට සිතීය. ඉක්බිති සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාට මේ අදහසවිය.
“මේ ලෝකයේ හිසමුඩුකළත් ඇතැම්හු බමුණෝය. පැමිණ ජාතිය විචාරන්නෙම්නම් යෙහෙකැයි’ යනුවෙනි. ඉක්බිති සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට “පින්වත් තෙමේ කවර ජාතියක් ඇත්තේදැයි” ඇසීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාට ගාථාවලින් කීයේය.
457. “මම බ්‍රාහ්මණයෙක් නොවෙමි. රාජපුත්‍රයෙකුත් නොවෙමි, වෛශ්‍යයෙකුත් නොවෙමි, ශුද්‍රයෙක් හෝ චණ්ඩාලයෙකුත් නොවෙමි. ගොත්‍ර දැන රාගාදී ප්‍රමාද නැත්තේ මන්ත්‍ර දැන නුවණ අනුව ගිය කායකර්මයෙන් හැසිරෙමි.
458. “තුන්සිවුර අඳින්නේ ආශානැත්තේ ඉවත්කරණ ලද දැළිරැවුල් ඇති ඉතා සංසිඳුනු සිත් ඇත්තේ ඉතා විවේකව වසන්නේවෙමි. බමුණ මාගෙන් ගොත්‍ර විචාරන්නෙහි නම් නුසුදුසුය.”
459. “පින්වත් බ්‍රාහ්මණය, ඒකාන්තයෙන් බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයෙක්ද භාරද්වාජයෙක්දැයි, ගොත්‍රය විචාරද්ද, ඉදින් බ්‍රාහ්මණයෝ අනිකක් කියන්නාහුනම් බමුණකු නොවූ ඔබගෙන් පද තුනක් ඇති, අකුරු 24 ක් ඇති වෙදවාක්‍යය අසන්නෙමි.”
460. “මේ ලෝකයෙහි බොහෝ ඍෂීහු මනුෂ්‍යයෝ ක්ෂත්‍රියෝ බ්‍රාහ්මණයෝ කුමක් ඇසුරුකොට දෙවියන්ට යාගකළාහුද, යාග කාලයෙහි යමෙක් දැනීම් තුනින් කෙළවරට ගියාහුද, මාර්ග ඥානවෙදයෙන් කෙළවරට ගියාහුද යමෙකුට යාග ද්‍රව්‍ය ලැබෙන්නේද, ඔහුට එය සඵලයයි කියමි.”
461. “යම්හෙයකින් අපි වේද දත් බුදුන් දකිමුද ඒකාන්තයෙන් ඒ අපගේ යාගය ඉෂ්ටවේ, ඔබවහන්සේ වැනි වේද දතුවන් නොදැකීමෙන් අන්‍ය ජනයෝ යාග බතද කැවුම්ද අනුභව කරත්.”