2. 3.
හිරි සූත්රය
255. “ලජ්ජාව ඉක්මවන, පිළිකුල් කරණ මම යහළුවෙක්මි’යි කියන, කරන්ට හැකි වැඩ බාර නොගන්නා ඔහු මේතෙම මාගේ යයි නොදන්නේය.
256. “යමෙක් මිත්රයන් කෙරෙහි අනුව නොයන ප්රිය කථාව කරයිද පණ්ඩිතයෝ ඔහු නොකරණ, කියන කෙනෙකැයි දනිත්.
257. “යමෙක් බිඳීම බලාපොරොත්තුවන්නේ සිදුරුම සොයයිද, හෙතෙම මිත්රයෙක් නොවේ. යමෙක් සතුරන් විසින් නොබිඳිය හැක්කේද ළයෙහි පුත්රයා මෙන් යමෙක් යම් මිත්රයෙකු කෙරෙහි නිදාද ඒකාන්තයෙන් හේ මිත්රයාවේ.
258. “සතුට ඇතිකිරීමට කරුණුවූ, ප්රශංසාව ගෙනදෙන, සැපවූ පුරුෂයාට අයත් වීර්යය උසුළන්නේ ඵල විපාකය ඇත්තේ සිත වඩයි.
259. “විවේකයේ (රහත්ඵල) සැපයද සිත සංසිඳීමේ රසයද බී ධර්මයෙන්වූ ප්රීතියේ රසය බොන්නේ විඩා නැත්තෙක් වන්නේය. පව් නැත්තෙක් වන්නේය.”
හිරිසුත්තං නිට්ඨිතං.
2. 4.
මංගල සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි භාග්යවත් බුදුරජාණන් වහන්සේ සැවත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වසනසේක. එකල වනාහි එක්තරා දෙවියෙක් මැදුම්රැයෙහි මනහර ශරීරප්රභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන්වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේය. පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.
260. “බොහෝ දෙවියෝද මනුෂ්යයෝද යහපත පතන්නෝ අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු සෙවූහ. වහන්ස, අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු වදාරණ සේක්වායි.”
261. “බාලයන් ඇසුරු නොකිරීමද, පණ්ඩිතයන් ඇසුරු කිරීමද, පිදියයුත්තන් පිදීමද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
262. “නිසි රටෙහි විසීමද, පෙර ජාතිවල රැස්කළ පින් ඇතිබවය, තමා ගුණදහම්හි පිහිටුවීමද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
263. “ධර්මශාස්ත්ර දෙක්හි බොහෝ උගත් බවද, ශිල්ප දැනීමද, කය වචන සිත මනාව හික්මවීමද, බොරු ආදියෙන් වෙන්වූ වචනයද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
264. “මවට උපස්ථානයද, පියාට උපස්ථානයද, අඹුදරුවනට උපකාර කිරීමද, නිරවුල් කර්මාන්තද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
265. “දීමද, දසකුසල් කිරීමද, නෑයනට උපකාර කිරීමද, නිවැරදි කර්මද, යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
266. “පව් කෙරෙන් තුන්දොර වැළැක්මද, මත්පැනින් වැළැක්මද, කුසල්දහම් වැඩීමෙහි නොපමාවද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
267. “ගරුබුහුමන් කිරීමට සුදුස්සන්ට ගරුබුහුමන් කිරීමද, යටත්පහත් බවද, ලද දෙයින් සතුටුවීමද, කළගුණ දන්නා බවද, සුදුසු අවස්ථාවෙහි දහම් ඇසීමද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).