2. 4.
මංගල සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වසනසේක. එකල වනාහි එක්තරා දෙවියෙක් මැදුම්රැයෙහි මනහර ශරීරප්‍රභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේය. පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.
260. “බොහෝ දෙවියෝද මනුෂ්‍යයෝද යහපත පතන්නෝ අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු සෙවූහ. වහන්ස, අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු වදාරණ සේක්වායි.”
261. “බාලයන් ඇසුරු නොකිරීමද, පණ්ඩිතයන් ඇසුරු කිරීමද, පිදියයුත්තන් පිදීමද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
262. “නිසි රටෙහි විසීමද, පෙර ජාතිවල රැස්කළ පින් ඇතිබවය, තමා ගුණදහම්හි පිහිටුවීමද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
263. “ධර්මශාස්ත්‍ර දෙක්හි බොහෝ උගත් බවද, ශිල්ප දැනීමද, කය වචන සිත මනාව හික්මවීමද, බොරු ආදියෙන් වෙන්වූ වචනයද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
264. “මවට උපස්ථානයද, පියාට උපස්ථානයද, අඹුදරුවනට උපකාර කිරීමද, නිරවුල් කර්මාන්තද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
265. “දීමද, දසකුසල් කිරීමද, නෑයනට උපකාර කිරීමද, නිවැරදි කර්මද, යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
266. “පව් කෙරෙන් තුන්දොර වැළැක්මද, මත්පැනින් වැළැක්මද, කුසල්දහම් වැඩීමෙහි නොපමාවද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
267. “ගරුබුහුමන් කිරීමට සුදුස්සන්ට ගරුබුහුමන් කිරීමද, යටත්පහත් බවද, ලද දෙයින් සතුටුවීමද, කළගුණ දන්නා බවද, සුදුසු අවස්ථාවෙහි දහම් ඇසීමද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
268. “ඉවසීමද, සුවච බවද, ශ්‍රමණයන් දැක්මද, නිසිකාලයෙහි ධර්ම සාකච්ඡාවද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
269. “ඉන්ද්‍රිය සංවරය හා වීර්යයද, බ්‍රහ්මචර්යාවද, ආර්ය සත්‍යයන් අවබෝධයද, නිවණ නුවණැසට හමුකිරීමද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
270. “අෂ්ටලොක ධර්මයෙන් හැප්පුණු යමෙකුගේ සිත නොසැලේ නම් ඒ නොසැලෙන සිතද, ශොකනැති සිතද, කෙලෙස්ධූලි නැති සිතද, උපද්‍රව නැති සිතද යන එතං මංගල මුත්තමං (එය උතුම් මඟුල්ය).
271. “මෙවැනි අභිවෘද්ධියට කරුණුවූ දේ කිරීමෙන් හැමතන්හි නොපැරදුනෝව හැමතන්හි සැපසේ යත්. ඒ දේ ඒ පුරන්නහුට උතුම් මඟුල්ය.”
මඞ්ගලසුත්තං නිට්ඨිතං.
2. 5.
සූචිලොම සුත්තං
මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා තීර්ථයෙහි සුචිලොම යක්ෂයාගේ මාලිගයෙහි ගල් අස්නෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි ඛර නම් යක්ෂතෙමේද සුචිලෝම යක්ෂ තෙමේද භාග්‍යවතුන් වහන්සේ ලඟින් යත්.
ඉක්බිත්තෙන් ඛර යක්ෂතෙමේ ශුචිලෝම යක්ෂයාට මෙය කීය. ‘මේ මහණෙකි, කියා ය” “මේ මහණෙක් නොවේ. හිස් මහණෙකි. ඉදින් මෙතෙම මහණෙක්ද, නැතහොත් හිස් මහණෙක්ද, පළමුවෙන් දනිමි”
ඉක්බිත්තෙන් ශුචිලොම යක්ෂතෙම භාග්‍යවතුන් වහන්සේ කරා ගියේය. ගොස් භාග්‍යවතුන්ට ශරීරය සමීපකෙළේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ කය බැහැර කළ සේක,
ඉක්බිත්තෙන් ශුචිලොම යක්ෂතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය,
“ශ්‍රමණය මට බියවන්නෙහිදැයි”
“ඇවැත්නි මම බිය නොවෙමි. එසේ වුවත් තොපගේ ස්පර්ශය පවිටුයයි”
“ශ්‍රමණය තොපගෙන් ප්‍රශ්න විචාරන්නෙමි ඉදින් මට ප්‍රකාශ නොකරන්නේ නම් තොපගේ සිත හෝ උමතු කරවන්නෙමි. පපුව හෝ පලන්නෙමි. දෙපය ගෙන ගඟින් එගොඩ විසිකරන්නෙමියි”