2. 13.
සම්මාපරිබ්බාජනීය සූත්‍රය
361. “සතර ඕඝය තරණය කළාවූ නිවණට පැමිණි සොපාදිසෙස නිවණින් පිරිනිවී නො සැලෙන සිත් ඇති බොහෝ ප්‍රඥා ඇති මුනීන්ද්‍රයන් වහන්සේ විචාරමි. ගෙන් නික්ම කාමයන් දුරුකොට ඒ මහණතෙම කෙසේ ලෝකයෙහි වාසය කරන්නේද?”
362. “යමෙකු විසින් දිට්ඨ මංගලාදිය නසන ලද්දාහද? උල්කාපාත ස්වප්න, ලකුණුද මංගල සහිතවූ දෝෂද, ප්‍රහීන කළ මහණතෙම ලෝකයෙහි මනාකොට පිරිනිවෙන්නේයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
363. “මහණතෙම මනුෂ්‍යයන් අතරෙහිද දෙවියන් අතරෙහිද වූ කාමයන්හි ඇල්ම අත්හරින්නේය. භවය ඉක්මවා ධර්මය දැන ඒ (ක්ෂීණාශ්‍රව) තෙම ලෝකයෙහි පිරිනිවෙන්නේය.
364. “මහණතෙම කේලාම්ද ද්වේෂයද අත්හැර මසුරුකම්ද දුරුකරන්නේය. රාග ද්වේෂයන් ගෙවූ හෙතෙම ලෝකයෙහි මනාකොට ලොව පිරිනිවෙන්නේය.”
365. (සත්ත්ව, සංස්කාර වශයෙන් දෙවැදෑරුම් වූ) ප්‍රිය වූ ද අප්‍රිය වූ ද දේ (රාග ද්වේෂ නැති කිරීමෙන්) අත්හැර, (සිවු උපාදානයන්ගෙන්) කිසිදු ධර්මයක් නොගෙන, (රූපාදී ධර්මයන්හි හෝ භවයන්හි) කිසිම තැනක (තණ්හා, දෘෂ්ටි වශයෙන්) ඇසුරු නොකොට, (දස වැදෑරුම් සංයෝජනයන්ට අරමුණු වන) බැඳීමට හේතු වන ධර්මයන්ගෙන් මුළුමනින් මිදුණේ, හෙතෙම ලොවෙහි මනාකොට හැසිරෙන්නේය.
366. “හෙතෙම උපාධින්හි සාරයට නොපැමිණේ. දැඩි ගැනීම්වල තද ඇල්ම දුරලන්නේය. හෙතෙම කිසිවක් ඇසුරු නොකෙළේ අනෙකකු විසින් නොහික්ම විය යුත්තේ මනාව ලොව පිරිනිවෙන්නේය.
367. “වචනයෙන්ද සිතින්ද ක්‍රියාවෙන්ද විරුද්ධ නොවූයේ ධර්මය මනාකොට දැන නිර්වාණ පදය මනාකොට පතන්නාවූ හෙතෙම ලොව මනාකොට පිරිනිවෙන්නේය.
368. “යමෙක් මම වදීයයි මානාධික නොවේද, ආක්‍රොශ කෙළේද, මහණතෙම වෛර නොබඳින්නේය. අන්‍යයාගේ ආහාර ලැබ මඳයට පත් නොවන්නේය. හෙතෙම ලොව මනාකොට පිරිනිවෙන්නේය.
369. “ලෝභයද භවයද හැර සිඳීමෙන් හා බැඳීමෙන් වෙන්වූ මහණතෙම අත්හළ සැක ඇත්තේ, පහවූ උල් ඇති හෙතෙම ලෝකයෙහි යහපත්ව පිරිනිවෙන්නේය.
370. “මහණතෙම තමහට කැප දෙය දැන ලෝකයෙහි කිසිවෙකුට බිය නොවන්නේය. ධර්මය තත්වූ පරිද්දෙන් දැන හෙතෙම ලෝකයෙහි පිරිනිවෙන්නේය.
371. “යමකුට (අර්හත් මාර්ගයෙන් නැසූහෙයින්) කිසි අනුශය ධර්මයක් නැද්ද, අකුශල් මුල් ඉගිළුවාහුද ආශයද නැති බැවින් තෘෂ්ණා නැත්තේද, ඒ ක්ෂීණාශ්‍රවතෙම ලොව යහපත්ව පිරිනිවෙන්නේය.
372. “ආශ්‍රවයන් ක්ෂය කළේ මානය ප්‍රහීන කළේ සියලු රාග මාර්ගය ඉක්මවා ගියේ හික්මුණේ පිරිනිවියේ ස්ථිරවූ ආත්මය ඇත්තේ හෙතෙම ලෝකයෙහි යහපත්ව පිරිනිවෙන්නේය.
373. “ශ්‍රද්ධාවත්වූයේ ශ්‍රැතවත්වූයේ මාර්ගය දක්නේද (දෘෂ්ටියෙන්) වර්ගවූවන් කෙරෙහි කැඩී නොයන්නේ ප්‍රඥාවත් වූයේ ලෝභය ද්වේෂය ක්‍රෝධය දුරුකොට හෙතෙම ලෝකයෙහි මනාව පිරිනිවෙන්නේය.
374. “අරහත් මාර්ග පිරිසුදු දිනන්නාවූ උපුටා දැමූ කෙළෙස් වහල ඇති ධර්මයන්හි වසීවූ පරතෙරට ගිය, පහවූ තෘෂ්ණා ඇති, (ආර්ය මාර්ගය) ප්‍රඥාවෙහි දක්ෂවූ හෙතෙම ලොව මනාකොට පිරිනිවෙන්නේය.