2. 14.
ධම්මික සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ධම්මික උපාසක තෙම උපාසකයන් පන්සියයක් සමග භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත්පසෙක සිටි ධම්මික උපාසක තෙම භාග්යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ කීයේය.
378. “මහත් ප්රඥා ඇති භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගෙන් විචාරමි. යමෙක් ගිහිගෙන් නික්ම ශාසනයට එයිද ගිහිගෙයි හෝ උපාසකයෝ වෙත්ද, ඒ කෙසේ පිළිපදින ශ්රාවක තෙමේ යහපත් වේද?
379. “ඔබ වහන්සේ වනාහි දෙවියන් සහිත ලෝකයාගේ උපතද පරලොව උපතද දන්නෙහිය. සියුම් අර්ථ දන්නා ඔබ හා සමාන කෙනෙක් නැත. ඔබ වහන්සේ ශ්රේෂ්ඨ බුදුන්යයි කියනු ලැබේ.
380. “ඔබ වහන්සේ දත යුත්තද ධර්මයද ඉතිරි නොකොට දැන සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් ප්රකාශ කෙළේය. හාත්පස දක්නා නුවණ ඇති පහකළ කෙළෙස් සෙවෙනි ඇත්තෙත් වෙහිය. සියලු ලෝකයෙහි නිර්මලව බබළයි.
381. “ජිනයයි අසා එරාවණ නම් ඇත් රජතෙම ඔබ වහන්සේගේ සමීපයට ආයේය. හෙතෙමේද ඔබ සමග කථා කොට යහපතැයි සතුටු සිතින් ගියේය.
382. “කුවෙර නම්වූ වෛශ්රවණ රජතෙමේ ධර්මය අසන්ට ඔබ කරා පැමිණෙයි. වීරයන් වහන්ස, ඔහුටද අසන ලද්දේ වදාරන්න, හෙතෙමේද අසා සතුටු සිත් ඇත්තේය.
383. “වාද කරුණු කැමති යම් මේ තීර්ථක කෙනෙක් ඇද්ද ඒ ආජීවකයන් හෝ නිඝණ්ඨයන් හෝ යන සියල්ලෝ සිටි තැනැත්තේ ශීඝ්රව යන්නකු මෙන් ප්රඥාවෙන් ඔබ නො ඉක්මවත්.
384. “වාද කරුණු කැමැති යම් මේ බ්රාහ්මණ කෙනෙක් ඇද්ද කිසියම් මහලු බමුණු කෙනෙක් ඇද්ද, යම් කෙනෙක් වාදීයයි හඟිත්ද ඒ සියල්ලෝ ඔබවහන්සේ කෙරෙහි අර්ථයෙන් බැඳුනාහුවෙත්.
385. “භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ විසින් යම් මේ ධර්මයක් මනාකොට ප්රකාශ කරණ ලදද මේ (සත්තිස් බොධිපාක්ෂික) ධර්මය සියුම්ය. සුව එලවන්නේය. යහපත් කොට වදාරණ ලදී. එයම සියල්ලෝ අසනු කැමැති වෙති. බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්ස, විචාරණ ලද අපට එය ප්රකාශ කරනු මැනවි.
386. “මේ වැඩහුන් සියලු භික්ෂුහුද එසේම අසන්ට පැමිණි උපාසකයෝද නිර්මල බුදුන් විසින් අවබෝධ කරණ ලද ධර්මය ශක්රයාගේ සුභාෂිතය දෙවියන් මෙන් අසත්වා.”
387. “මහණෙනි, අසව්. මා විසින් ධර්මයද කෙලෙස් කම්පා කරණ ක්රමයද අස්වමි. සියල්ලෝ දරත්වා, යහපත දක්නා සුළු ප්රඥා ඇත්තා ප්රව්රජිතයන්ට සුදුසු ඉරියව්ව පුරුදු කරව්.