2. 10.
උට්ඨාන සූත්‍රය
333. නැගිටිව්, හිඳගනිව්, තොපට නිදීමෙන් කවර ප්‍රයෝජනයක්ද හුලින් විදින ලදුව දුකින් පෙලෙන ලෙඩුන්ට කවර නිදීමක්ද
334. “නැගිටිව්, හිඳගනිව්, නිර්වාණය පිණිස දැඩිව හික්මෙව්. මාරයා තොප පමායයි දැන වසඟයට ගියවුන් මුළා කළේය.
335. “යම් තෘෂ්ණාවකින් එය පතන දෙවියෝද මනුෂ්‍යයෝද ඇලී සිටිත්ද, ඒ තෘෂ්ණාව ඉක්මවව්. තොප විසින් මොහොත පැහැර නොහැරිය යුතුය. ක්ෂණය ඉක්මවූවාහු නිරයට ගොස් ශොක කරත්.
336. “සිහිය නැතිකම කිලුටකි. සිහිය නැතිකම නැවත නැවත උපන්නේ කිලුටකි. සිහියෙන් වෙන් නොවීම නම්වූ අප්‍රමාදයෙන්ද (කෙලෙස් නසන දැනීම නම්වූ) විද්‍යාවෙන්ද තමාගේ රාගාදී උල්පස උදුරන්නේය.”
උට්ඨානසුත්තං නිට්ඨිතං.
2. 11.
රාහුල සූත්‍රය
337. “රාහුලය, කිමෙක්ද නිතර ආශ්‍රයෙන් පණ්ඩිතයා අවමන් නොකරන්නෙහිද? මිනිසුන්ට පහන දරන්නා (ශාරීපුත්‍රයන්) කිමෙක්ද තා විසින් පුදන ලද්දේද,
338. “මම නිතර ආශ්‍රයෙන් පණ්ඩිතයාට අවමන් නොකරමි. මනුෂ්‍යයන්ට එලිය දරන්නා මා විසින් නිතර පුදන ලදී.
339. “ප්‍රිය ස්වරූප ඇති, සිත් ඇලෙන පස්කම් සැප අත්හැර, ශ්‍රද්ධාවෙන්ගෙන් නික්ම දුක් කෙළවර කරන්නෙක්වෙව.
340. “කල්‍යාණ මිත්‍රයන්ද විවේකවූ ශබ්ද නැති දුර පිහිටි සෙනසුන්ද භජනය කරව. අහරෙහි පමණ දන්නෙක් වෙව.
341. “චීවර පිණ්ඩපාතයෙහිද ප්‍රත්‍යයෙහිද සෙනසුන්හිද යන මොවුන් කෙරෙහි තෘෂ්ණාව නොකරව. මෙලොවට නැවත නොඑව.
342. “ප්‍රාතිමොක්ෂයෙහිද සංවර වෙව. පඤ්චෙන්ද්‍රියයන්හිද සංවර වෙව. කායගතාසතියෙහිද (කය ගැන සිහියෙහි) සිහි ඇතිවෙත්වා. සසර කලකිරීම බහුලවූවෙක් වෙව.