2. 11.
රාහුල සූත්‍රය
337. “රාහුලය, කිමෙක්ද නිතර ආශ්‍රයෙන් පණ්ඩිතයා අවමන් නොකරන්නෙහිද? මිනිසුන්ට පහන දරන්නා (ශාරීපුත්‍රයන්) කිමෙක්ද තා විසින් පුදන ලද්දේද,
338. “මම නිතර ආශ්‍රයෙන් පණ්ඩිතයාට අවමන් නොකරමි. මනුෂ්‍යයන්ට එලිය දරන්නා මා විසින් නිතර පුදන ලදී.
339. “ප්‍රිය ස්වරූප ඇති, සිත් ඇලෙන පස්කම් සැප අත්හැර, ශ්‍රද්ධාවෙන්ගෙන් නික්ම දුක් කෙළවර කරන්නෙක්වෙව.
340. “කල්‍යාණ මිත්‍රයන්ද විවේකවූ ශබ්ද නැති දුර පිහිටි සෙනසුන්ද භජනය කරව. අහරෙහි පමණ දන්නෙක් වෙව.
341. “චීවර පිණ්ඩපාතයෙහිද ප්‍රත්‍යයෙහිද සෙනසුන්හිද යන මොවුන් කෙරෙහි තෘෂ්ණාව නොකරව. මෙලොවට නැවත නොඑව.
342. “ප්‍රාතිමොක්ෂයෙහිද සංවර වෙව. පඤ්චෙන්ද්‍රියයන්හිද සංවර වෙව. කායගතාසතියෙහිද (කය ගැන සිහියෙහි) සිහි ඇතිවෙත්වා. සසර කලකිරීම බහුලවූවෙක් වෙව.
343. “රාගය හා යුක්තවූ ශුභවූ අරමුණ දුරුකරව. එකඟවූ සමාධියට ගිය සිත අශුභයෙන් වඩව.
344. “(රාගාදී) නිමිති නොගැනීමද වඩව. මානය හා අනුශය ධර්ම දුරුකරව. ඊටපසු (ආර්ය මාර්ගයෙන්) මානය නැතිකිරීමෙන් සිත ශාන්තව හැසිරෙන්න.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ට මේ ගාථාවන්ගෙන් නිතර අවවාද කරයි.”
රාහුලසුත්තං නිට්ඨිතං.
2. 12.
වංගීස සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව්රට අග්ගාලාව චෛත්‍යයෙහි වාසය කරණසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් වංගීස ස්ථවිරයන්ගේ උපාධ්‍යායවූ නිග්‍රොධකප්ප නම් තෙරණුවෝ අග්ගාළව චෛත්‍යයෙහිදී නොබෝ කලකට පෙර පිරිනිවියේ වෙයි.
එකල්හි වනාහි තනිව සිටි විවේකයෙහි සිටි ආයුෂ්මත් වංගීස ස්ථවිරයන් වහන්සේට මගේ උපාධ්‍යායයන් වහන්සේ පිරිනිවියේද නැත්නම් නුවූයේ දැයි මෙසේ සිතට සිතිවිල්ලක් පහළවිය.
ඉක්බිති ආයුෂ්මත් වංගීස ස්ථවිරතෙමේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගී සිටිසේක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් වංගීස ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය: “ස්වාමීනි මෙහි තනිව සිටි විවේකයෙහි සිටි මට මාගේ උපාධ්‍යාය තෙමේ පිරිනිවියේද නොවූයේදැයි මෙසේ සිතට සිතිවිල්ලක් පහළවූයේය”යි මෙය කීයේය.
ඉක්බිති ආයුෂ්මත් වංගීස ස්ථවිරයන් වහන්සේ අස්නෙන් නැගිට සිවුර එකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි ඇඳිලිබැඳ භාග්‍යවතුන් වහන්සේට ගාථාවන් කීයේය.
345. “ලාමක නොවූ ප්‍රඥා ඇති, ශාස්තෲන් වහන්සේගෙන් අසමු. මේ ආත්මයෙහිම යමෙක් විචිකිච්ඡාව සිඳින්නේද, ප්‍රසිද්ධවූ යසස ඇති සැඟවුණු, සිත් ඇති භික්ෂු කෙනෙක් අග්ගාලවයෙහි කළුරිය කළහ.