1. 9.
හෙමවත සූත්‍රය
153. (සාතාගිර යක්ෂයා මෙසේ කීවේය:) අද පසළොස්වක දවසය. දිව්‍යවූ රූප ප්‍රභා ඇති, රාත්‍රිය පැමිණ සිටියාය. ලාමක නොවූ නම් ඇති, ශාස්තෘවූ ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන් දකුම්හයි.
154. (හෙමවත යක්ෂයා මෙසේ ඇසීය:) කිමෙක්ද? ඒ ශාස්තෘහුගේ සිත අචලද? ඒ ශාස්තෘ තෙම සියලු සත්වයන් කෙරෙහි මනාවේද? කිමෙක්ද? ඒ ශාස්තෘහුගේ අදහස් ඉෂ්ට අනිෂ්ට අරමුණු විෂයෙහි වසඟ දැයි?
155. (සාතාගිර යක්ෂයා මෙසේ කීවේය:) සියලු සත්වයන් කෙරෙහි සමවූ ඒ ශාස්තෘහුගේ සිත අචලය. නැවත ඉෂ්ටවූ සංස්කාරයන් කෙරෙහිද අනිෂ්ටවූ සංස්කාරයන් කෙරෙහිද උන්වහන්සේගේ අදහස් වසඟ කරණ ලදහුයයි.
156. (හෙමවත යක්ෂයා මෙසේ ඇසීය:) කිමෙක්ද? නුදුන් වස්තුව නොගනීද? කිමෙක්ද? සතුන් කෙරෙහි දයාද? කිමෙක්ද? ප්‍රමාදයෙන් හෙවත් අබ්‍රම්සරින් දුරුද, හෙවත් ස්ත්‍රීන් කෙරෙන් දුරුද? කිමෙක්ද? ධ්‍යානය නොහරීදැයි?
157. (සාතාගිර යක්ෂයා මෙසේ කීවේය:) ඒ සර්වඥතෙම නුදුන් වස්තුවක් නොගන්නේය. එසේම සතුන් කෙරෙහි දයාව ඇත්තේය. නැවත ප්‍රමාදයෙන් දුරුය. සර්වඥතෙමේ ධ්‍යානය නොහරනේයයි.
158. (හෙමවත යක්ෂයා මෙසේ ඇසීය:) කිමෙක්ද? ඒ ශාස්තෘතෙම මුසාව නොකියාද? අනුන් හිංසා කරණ සිත නැත්තේද? රළු වදන් නැත්තේද? නපුරු වචන නැත්තේද? කිමෙක්ද? කේලාම් නොකියාද? කිමෙක්ද, නිරර්ථක තෙපුල් නොකියාදැයි?
159. (සාතාගිර යක්ෂයා මෙසේ කීවේය:) ඒ සර්වඥතෙම නපුරු බස් නොකියන්නේය. නැවත, හිංසා කරණ තෙපුලුත් නොකියන්නේය. නැවත, කේළමුත් නොකියන්නේය. ඒ සර්වඥතෙම නුවණින් පිරිසිඳ අර්ථයෙන් යුත් වචනය කියන්නේයයි.
160. (හෙමවත යක්ෂයා මෙසේ ඇසීය:) කිමෙක්ද? ඒ ශාස්තෘතෙම රූපාදි වස්තු කාමයෙහි නොඇලේද? කිමෙක්ද උන්වහන්සේගේ හිත ව්‍යාපාදයෙන් නොකැළඹුනේද? කිමෙක්ද, ඒ ශාස්තෘහුගේ මෝහය ඉක්මුනේද? කිමෙක්ද, ඒ ශාස්තෘතෙම සියලු සංස්කාර ධර්මයන් විෂයෙහි සමතැස් ඇත්තේදැයි?
161. (සාතාගිර යක්ෂයා මෙසේ කීවේය:) ඒ ශාස්තෘතෙම වස්තු කාම විෂයෙහි නොඇලේ. නැවත සර්වඥයන් වහන්සේගේ සිත ව්‍යාපාදයෙන් නොකැළඹිනි. සියලු මෝහය ඉක්මුනේය චතුරාර්ය සත්‍යය දත්තාවූ ඒ සර්වඥතෙම සියලු ධර්මයෙහි නොපැකිල පවත්නා පසැස් ඇත්තේයයි.