1. 10.
ආළවක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව් නුවර සමීපයෙහිවූ ආළවක යක්ෂයාගේ භවනයෙහි වසන සේක. ඉක්බිති ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය:
මහණ, නික්මෙව යි.
ඇවැත්නි, යහපතැයි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක,
මහණ, ඇතුළු වෙව යි,
ඇවැත්නි, යහපතැයි භාග්‍යවතුන් වහන්සේ ඇතුළු වූ සේක,
දෙවනුවද ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය. මහණ, නික්මෙව යි,
ඇවැත්නි, යහපතැයි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක,
මහණ, ඇතුළු වෙව යි,
ඇවැත්නි, යහපතැයි භාග්‍යවතුන් වහන්සේ ඇතුළු වූ සේක,
තෙවනුවද ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය: මහණ, නික්මෙව යි,
ඇවැත්නි, යහපතැයි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක,
මහණ, ඇතුළු වෙව යි,
ඇවැත්නි, යහපතැයි භාග්‍යවතුන් වහන්සේ ඇතුළු වූ සේක,
සතරවනුවද ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය: මහණ, නික්මෙව යි,
ඇවැත්නි, මම නොම නික්මෙමි. තට යමක් කළ හැකි නම් එය කරව යි,
මහණ, තා ප්‍රශ්නයක් විචාරමි, ඉදින් මට නොවිසඳන්නෙහි නම් තාගේ සිත හෝ පෙරළන්නෙමි. හදවත හෝ පලන්නෙමි, පාදයන් ගෙන ගඟෙන් එතෙර හෝ දමන්නෙමි යි,
ඇවැත්නි, දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලොකයෙහි මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යමෙක් මාගේ සිත හෝ පෙරළන්නේ නම් හදවත හෝ පලන්නේ නම් පාදයන් ගෙන ගඟෙන් එතෙර හෝ දමන්නේ නම් එය මම නොදකිමි, එහෙත් ඇවැත්නි, තෝ කැමැත්තක් විචාරව යි.
ඉක්බිති ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කීවේය:
183. මෙහි පුරුෂයාට කවර නම් වස්තුවක් ශ්‍රේෂ්ඨද? කවරක් යහපත් කොට පුරුදු කරන ලද්දේ සැප එළවයිද? රසයන් අතුරෙන් කවරක් නම් මිහිරිද? කෙසේ ජීවත්වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කියද්ද?
184. මෙහි පුරුෂයාට ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ වස්තුවයි. ධර්මය යහපත් කොට පුරුදු කරන ලද්දේ සැප එළවයි. සත්‍යය වනාහි රසයන් අතුරෙන් ඉතා මිහිරිය. ප්‍රඥාවෙන් ජීවත්වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කියත්.
185. කෙසේ නම් ඕඝය තරණය කෙරේද? කෙසේ නම් සසර සාගරය තරණය කෙරේද? කෙසේ නම් දුක ඉක්මවා යේද? කෙසේ නම් පිරිසිදු වේද?