1. 8.
මෙත්ත සූත්‍රය
143. අර්ථ කුසලයා විසින් ශාන්ත පදය (නිවන) අවබෝධ කරගනු කැමැත්තහු විසින් මෙය කටයුතුයි. හෙතෙම දක්ෂ විය යුතුය. ඍජු විය යුතුය. මැනවින් ඍජු විය යුතුය. කීකරු විය යුතුය. මෘදු විය යුතුය. නිහතමානී විය යුතුය.
144. සතුටු වන සුළු විය යුතුය. පහසුවෙන් පෝෂණය කළ හැකි විය යුතුය. අල්ප කෘත්‍ය ඇත්තෙක් විය යුතුය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් විය යුතුය. සංසිඳුනු ඉඳුරන් ඇත්තෙක් විය යුතුය. නුවණැත්තෙක් විය යුතුය. තද ගති නැත්තෙක් විය යුතුය. කුලයන්හි නොඇලුනෙක් විය යුතුය.
145. යමක් නිසා නුවණැති අන්‍යයෝ (ඔහුට) දොස් කියන්නාහු නම්, එබඳු වූ කුඩා වරදක් හෝ නොකළ යුතුය. සියලු සත්වයෝ සුවපත් වූවෝ වෙත්වා, ක්ෂේම ඇත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!
146. කෙලෙස් බිය ඇති හෝ කෙලෙස් බිය නැති, දිග වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ මිටි වූ හෝ අණුක වූ හෝ ස්ථූල වූ හෝ යම් කිසි ප්‍රාණීහු වෙත් ද,
147. ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙනෙන්නා වූ හෝ, දුර වසන්නා වූ හෝ ළඟ වසන්නා වූ හෝ, උපන්නා වූ හෝ උපදින්නට සිටිනා වූ හෝ යම් සත්වයෝ වෙත් ද, ඒ සියලු සත්වයෝ සුවපත් සිත් ඇත්තෝ වෙත්වා!
148. අනෙකෙක් අනෙකෙකු නොරවටන්නේය. කොතැනකදීවත් කිසිවෙකුට අවමන් නොකරන්නේය. ක්‍රෝධයෙන් හා විරුද්ධවාදී හැඟීමෙන් එකිනෙකාට දුකක් නොකැමති වන්නේය.
149. යම්සේ මවක් තම එකම පුත්‍රයා දිවි පුදා රකින්නී ද, එසේම සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සිත වඩන්නේය.
150. උඩ ද, යට ද, සරස ද, බාධක නැති, වෛර නැති, සතුරන් නැති, අප්‍රමාණ වූ මෛත්‍රී සිත මුළු ලොව කෙරෙහි ම වඩන්නේය.
151. සිටගෙන සිටියදී හෝ යමින් හෝ හිඳගෙන හෝ සයනය කරමින් හෝ යම් තාක් කල් නිදි නොගනී ද (නොහොත් අවදිව සිටී ද), ඒ තාක් කල් මේ (මෛත්‍රී) සිහිය ඉටාගත යුතුය. මෙය මේ ශාසනයෙහි ‘බ්‍රහ්ම විහරණය’ යැයි කියති.
152. මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ, සිල්වත් ව, දස්සන හෙවත් සෝවාන් මාර්ග ඤාණයෙන් යුක්ත ව, වස්තු කාමයන්හි ඇල්ම දුරු කොට, ඒකාන්තයෙන් නැවත මව් කුසකට නොපැමිණෙන්නේය (නැවත නූපදින්නේය).
මෙත්ත සූත්‍රය නිමියේය.
1. 9.
හෙමවත සූත්‍රය
153. (සාතාගිර යක්ෂයා මෙසේ කීවේය:) අද පසළොස්වක දවසය. දිව්‍යවූ රූප ප්‍රභා ඇති, රාත්‍රිය පැමිණ සිටියාය. ලාමක නොවූ නම් ඇති, ශාස්තෘවූ ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන් දකුම්හයි.
154. (හෙමවත යක්ෂයා මෙසේ ඇසීය:) කිමෙක්ද? ඒ ශාස්තෘහුගේ සිත අචලද? ඒ ශාස්තෘ තෙම සියලු සත්වයන් කෙරෙහි මනාවේද? කිමෙක්ද? ඒ ශාස්තෘහුගේ අදහස් ඉෂ්ට අනිෂ්ට අරමුණු විෂයෙහි වසඟ දැයි?