1. 7.
වසල සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවන නම්වූ විහාරයෙහි වැඩවාසය කරන සේක. එකල්හි වනාහී භාග්යවතුන් වහන්සේ පෙරවරුවේලෙහි හැඳ පොරවා පාත්ර සිවුරුගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. අග්ගික භාරද්වාජ නම් බ්රාහ්මණයාගේ ගෙය යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. අග්ගික භාරද්වාජ නම් බ්රාහ්මණ තෙම වැඩමවන්නාවූ භාග්යවතුන් වහන්සේ දුරදීම දුටුයේමය. දැක භාග්යවතුන් වහන්සේට මේ වචනය කීයේය. ‘මුණ්ඩකය, එහිම සිටුව, නින්දිත (සැඩොල) මහණ එහිම සිටුවයි’.
මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ අග්ගික භාරද්වාජ නම් බ්රාහ්මණයාට මෙසේ වදාළසේක. ‘බමුණ, තෝ සැඩොලා හෝ සැඩොල් බවට පමුණුවන කාරණයන් හෝ කිමෙකැයි දන්නෙහිද?’
වසලයා හෝ වසල බවට පමුණුවන ධර්මය හෝ නොදනිමි. භවත් ගෞතමතෙම වසලයා හෝ වසල බවට පමුණුවන කාරණයන් යම්සේ මම දැනගනිම්ද, මට එසේ දහම් දෙසන සේක්වායි.
බමුණ, එසේවීනම් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමියි වදාළසේක. පින්වත, එසේයයි කියා අග්ගික භාරද්වාජ නම් බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේට ප්රතිවචන දුන්නේය. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
116. යම් මනුෂ්යයෙක් කිපෙන ස්වභාව ඇත්තේ වේද, වෛර ඇත්තේ වේද, අනුන් ගුණ නසන පවිටු ස්වභාව ඇත්තේ වේද, විපර්යාසවූ දෘෂ්ටි ඇත්තේද (හෙවත් සම්යක් දෘෂ්ටියෙන් තොරවූයේද) මායාව ප්රයෝග ඇත්තේ වේද ඔහු වසලයයි දැනගත යුතුයි.
117. මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් පක්ෂීන්ට හා සෙසු සතුන්ට හිංසා කෙරේද, (හෙවත් දිවි තොරකෙරේද) යමෙක්හට සත්වයා කෙරෙහි දයාවක් නැත්තේද, ඔහු වසලයා යයි දතයුතුයි.
118. යමෙක්තෙම ගම් හා නියම් ගම්ද විනාශ කෙරේද, සේනාව ලවා වටලාද නිග්රහ කරන්නෙකැයි ප්රසිද්ධවේද ඔහු වසලයෙකැයි දැනගත යුතුයි.
119. ගමෙහි හෝ ඉදින් වනයෙහි හෝ අනුන්ගේ මමත්වය ඇති යම් වස්තුවක් සොරසිතින් ගනීද ඔහු වසලයෙකැයි දතයුතුයි.
120. යමෙක්තෙම ඒකාන්තයෙන් ණය රැගෙන චොදනා කරනු ලබන්නේ ‘තට ණයක් නැත්තේයයි’ බැහැරයාද ඔහු වසලයෙකැයි දතයුතුයි.
121. යමෙක් ඒකාන්තයෙන් කිසි වස්තුවක් කැමැත්තේ මාර්ගයෙහි යන්නාවූ ජනයා නසා කිසි වස්තුවක් පැහැර ගනීද, ඔහු වසලයෙකැයි දතයුතුයි.
122. යම් මනුෂ්යයෙක් සාක්ෂි විචාරණ ලද්දේ තමා හේතුකොටගෙන හෝ අනුන් හේතුකොටගෙන හෝ යම් ධනයක් හේතුකොට හෝ බොරු කියාද, ඔහු වසලයෙකැයි දතයුතුයි.
123. යමෙක් නෑයන්ගේ හෝ යහලුවන්ගේ හෝ භාර්යාවන් කෙරෙහි බලාත්කාරයෙන් එකක්හුගේ ප්රෙමයෙන් හෝ උභය ප්රෙමයෙන් හෝ දක්නා ලැබේද හෙවත් අනාචාරයෙහි හැසිරේද, එබඳු පුද්ගලයා වසලයෙකැයි දත යුතුයි.
124. යමෙක් තෙම බොහෝ ධනධාන්ය ඇත්තේ ජරාපත්වූ පහවගිය යෞවන බව ඇති මව හෝ පියා හෝ පෝෂණය නොකෙරේද ඔහු වසලයෙකැයි දත යුතුයි.