1. 2.
ධනීය සූත්‍රය
18. පැසුණු බත් ඇති දොවූ කිරි ඇති මම මහාමහි නදියේ ඉවුර සමීපයෙහි සමානවූ ජනයා හා වසන්නේ වෙමි. මාගේ සැළ සෙවිලි කරණලදී. ගින්න මොළවන ලද්දේය. වළාකුල දැන් ඉදින් කැමැත්තෙහි නම් හොඳට වසින්න යයි ධනිය ගොපල්ලා කීයේය.
19. “(ධනියය) මම ක්‍රොධ රහිත වූයෙමි. සිත්හි පහවූ උල් ඇත්තේ වෙමි. මහීනදියගේ තෙර සමීපයෙහි රාත්‍රියේ තනි වාසය ඇත්තෙමි. අරින ලද පැල (ආත්මය) ඇත්තෙමි. (රාගාදී) ගිනි නිවුණේය, දැන් ඉදින් කැමැත්තෙහි නම් මේඝය වසීවයි කීමට මම ම නිසි ය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
20. “කණ මැස්සන් හා මදුරුවන් නැත්තාහුය. නදිය අසබඩ හටගත් තන ගවයෝ කති. පැමිණි වැස්ස ඉවසන්නාහුය. වලාකුළ දැන් ඉදින් කැමැත්තෙහි නම් වසින්න යයි (ධනිය ගොපල්ලා කීයේය.)
21. “(මාර්ග නැමැති) පසුර බඳිනා ලද්දීය. එතෙර වූයේ පරතෙර ගියේ, වතුර පහර හික්මවන්නේය, (මාර්ග නැමැති) පසුරෙන් ප්‍රයෝජනයක් නැත. එසේ හෙයින් දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්න යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)
22. “මාගේ ගොපලු භාර්යාව කීකරුය. ලොල්බව නැත්තීය. බොහෝ කලක් මුළුල්ලෙහි සමග වසන්නීය. මන වඩන්නීය. ඇගේ කිසි පාපයක් නොඅසමි. දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්නයයි” (ධනිය ගොපල්ලා කීයේය.)
23. “(ධනියය) මාගේ සිත කීකරුය. මිදුනේය. බොහෝ කලක් වඩන ලදී. මොනොවට දමනය කරණ ලදී. මට පවක් නැත්තේය. දැන් ඉදින් කැමැත්තෙහි නම් වැස්ස වසින්න යයි” බුදුහු වදාළහ.)
24. “මම මා සතු බත් වැටුපෙන් රැකෙන්නෙමි මාගේ දරුවෝද එක්ව වසත්. නිරෝගය. ඔවුන්ගේද කිසි පාපයක් නොඅසමි. එසේ හෙයින් දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්න යයි” (ධනීය ගොපල්ලා) කීයේය.)
25. “මම කාගේවත් බැලයෙක් නොවෙමි. මම සියලු ලෝකයෙහි බැලකමින් තොරවැ හැසිරෙමි. බැලයෙන් ප්‍රයෝජනයක් නැත්තේය. වැස්ස ඉදින් කැමැත්තෙහි නම් වසින්නයයි’ භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)
26. “මාගේ ගව මුලෙහි නාඹු වස්සෝද ඇත්තාහ, කිරිබොන ලමා වස්සෝද ඇත්තාහ, ගැබ දරණ දෙන්නුද ඇත්තාහුය, නැවත මෙවුන්දම් පතන දෙන්නුද ඇත්තාහ. තවද ගවයන්ට නායකවූ වෘෂභයාත් මෙහි ඇත. වැස්ස ඉදින් ඔබට වුවමනා නම් වහින්න යයි” (ධනිය ගොපල්ලා) කීයේය.)
27. (“ධනියය) අපගේ සස්නෙහි වසයයි කියනලද වඩින කෙළෙස් නැත. ධෙනුපා නම් නිදන කෙලෙස්ද නැත. ගොචරණි යයි කියන කර්ම අකුශල නැත නැවත පවෙණියයි කියන ලද භව තෘෂ්ණාද නැත. නැවත ගවපති වෘෂභ නම්වූ අභිසංස්කාර විඥාණය නැත. වැස්ස ඉදින් ඔබට වුමනා නම් වහින්නයයි” (බුදුහු වදාළසේක.)
28. “ගවයන් බඳිනා කණු සාරා පිහිටුවන ලද්දාහු නොසෙලවේ. මුදු තණ කොළින් කරණ ලද ලනු අළුත්ය. මනා පිහිටීම් ඇත්තාහ. තරුණ වස්සෝත් කඩන්නට නොම හැක්කෝය. දැන් ඉදිත් කැමැත්තෙහි නම් වසින්නයයි (ධනිය කීයේය.)