භාණවාරං තතියං.
4. 3. නන්දක ප්‍රෙත කථාව
667. සුරට්ඨ දෙශයට අධිපතිවූ පිංගල නම් රජෙක් විය. මොරිය රජුන්ට උපස්ථානයට ගොස් සුරට්ඨ දෙශයට ආපසු පැමිණියේය.
668. රජතෙම මධ්‍යාහ්ණයෙහිවූ උෂ්ණ කාලයෙහි මගට පැමිණියේය. මොලොක් බිම ඇති සිත් කලුවූ ප්‍රෙතයා විසින් මවනලද මාර්ගය දුටුයේය.
669. රජතෙම රියැදුරා ඇමතුවේය “රියැදුර, මේ මග සිත්කලුය, නිර්භයය, යහපත ගෙනදෙයි. උවදුරු රහිතය. මේ මගින් යව, මේ ගමනින් සුරට්ඨදෙශය සමීපයෙහි වෙමු.”
670. සුරට්ඨ රජතෙම සිවුරඟ සෙනඟ සමගින් ඒ මගින් ගියේය. තැතිගත් ස්වභාවය ඇති පුරුෂයෙක් සුරට්ඨ දෙශාධිපතියාට මෙය කීයේය.
671. “භයජනකවූ ලොමුදැහැගත්තාවූ නපුරු මගකට පිවිසියේ වෙමු. ඉදිරියෙහි මාර්ගය දක්නා ලැබේ. පස්සෙන් නොදක්නා ලැබේමය.
672. “ප්‍රෙතයන්ගේ සමීපයෙහිවූ නපුරු මගට පිවිසියෝ වෙමු. ප්‍රෙතයන් පිළිබඳ ගඳ හමයි. දරුණුවූ ශබ්දය ඇසෙයි”
673. කළකිරුණු සුරට්ඨාධිපති රජතෙම රියැදුරුට මෙය කීය. “භයජනක ලොමු දැහැගත්තාවූ නපුරු මගකට පැමිණියෝ වෙමු. ඉදිරියෙහි මග පෙනේ. පසුමග නොපෙනේ.
674. “ප්‍රෙතයන්ගේ සමීපයෙහිවූ නපුරු මගට පැමිණියෝ වෙමු. ප්‍රෙතයන් පිළිබඳ ගඳ හමයි. දරුණු හඬ ඇසෙයි.”
675. ඇත් කඳට නැගී සිවු දිග බලන්නේ සිත්කලුවූ සෙවනින් යුක්තවූ නිල්වන් වලාකුල් සමාන සොභාමත් නුගරුකක් දුටුයේය.
676. රජතෙම රියැදුරා ඇමතුයේය. “මහත්වූ නිල් වලාකුලක් බඳු නිල්පාටට මහත්ව පේන මෙය කුමක්ද?”
677. “මහරජ්ජුරුවෙනි, සෙවනින් යුත් නිල්වලාකුලකට සමාන (කළු) වැසිවලාකුලක් වැනි එය නුගරුකෙක.”
678. සුරට්ඨාධිපති රජතෙම මහත්වූ නිල්වලාකුල් බඳු කළුපාට ඒ රුක යම් තැනෙක්හි දක්නා ලැබේද ඒ දෙසට පිටත්ව ගියේය.
679. රජතෙම ඇත් කඳින් බැස රුක වෙත පැමිණියේය. ඇමතියන් පිරිවර ජනයා සහිතවූ (රජතෙම) රුක් මුල හුන්නේය.