10. ධාතු විවර්ණක ප්‍රේතයාගේ කථාව
509. “දුගඳවූ තෝ අහසෙහි සිටිනේ කුණු ගඳ හමන්නෙහිය. තාගේ කුණු ගඳ ඇති කටද පණුවෝ කත්. පූර්ව ජාතියෙහි කිනම් අකුශල කර්මයක් කෙළෙහිද?
510. “ඉක්බිති ආයුධයක් ගෙන නැවත නැවත කපත්. කාරම් ජලයෙන් තවරා නැවත නැවතත් කපත්.
511. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්‍රේතලෝකයට ගියේද?”
512. “නිදුකාණෙනි, මම රම්‍යවූ සිත් කළුවූ ගිරිබ්බජ නම්වූ රජගහ නුවර ඉතා බොහෝවූ ධන ධාන්‍යයට හිමියෙක් වීමි.
513. “මෝතොමෝ ඒ මාගේ පෙර ආත්මයෙහි බිරින්ද විය. මෝතොමෝ දියණි විය. මෑ යෙහෙළි විය. මල් ද උපුල් ද අලුත් වූ විලවුන් ද චෛත්‍ය පූජාවට හැරගෙන යන ඈලා මම වැලැක්වීමි. මා විසින් ඒ පාපය කරණ ලදී.
514. “සයානූ දහසක් පමණ වූ අපි චෛත්‍ය පූජාවට නුගුණ කියා වෙන් වෙන් වශයෙන් අතිශයින් ප්‍රේත ලෝකයෙහි පැසෙමු.
515. “අර්හත්වූ බුදුන්ගේ චෛත්‍ය පූජාව පිළිබඳ උත්සවය පවත්නා කල්හි යමෙක් දොස් කියත්ද, ඔවුන් ඒ පිනින් බැහැරයයි දනිව්.
516. “දිවමල් දරන්නාවූ සැරසුනාවූ පුෂ්ප පූජා ඵලය වළඳන්නාවූ සම්පතකින් පිරි පිරිවර ඇතිව එන්නාවූ ඒ මේ දිව්‍ය ස්ත්‍රීන්ද බලව.
517. “ආශ්චර්යවූ අද්භූතවූ ලොමු දැහැගන්නාවූ ඒ විපාක දැක නුවණැත්තෝ ඒ මහා මුනිවූ තථාගතයන් නමස්කාර කරත්.
518. “එසේමැයි ඒ මම මෙයින් ගොස් මිනිසත් බව ලබාගෙන ප්‍රමාද නොවී නැවත නැවත චෛත්‍ය පූජාව කරන්නෙමි.”
ධාතුවිවිණ්ණිකපෙතවත්ථු දසමං.
තුන්වෙනි චුල්ල වර්ගය නිමි.
එහි උද්දානය:-
අභිජ්ජමාන, කොණ්ඩඤ්ඤ, රථකාරී, භුස, කුමාර, ගණිකා (සෙරිණී), ලුද්දකයන් දෙදෙනා ද, පිට්ඨපූජක (කූටවිනිච්ඡයික) ද යන මේ කථාවලින් මේ වර්ගය කියනු ලැබේ.
4. මහා වර්ගය
1. අම්බසක්ඛර ප්‍රේතයාගේ කථාව
526. වැදෑ රජුන්ගේ වෙසාලී නම්වූ නුවරක් ඇත්තේය. එහි අම්බසක්ඛර නම් වූ ලිච්ඡවී රජෙක් විය. ප්‍රේතයෙක් කී කාරණය දැනගනු කැමැත්තේ නුවරින් පිටත සිටි ප්‍රෙතයකු දැක එතනදීම ඔහු විචාළේය.
527. “මොහුට නිදීමක්ද හිඳීමක්ද නැත. ඉදිරි ගමනක් හෝ පසු ගමනක් හෝ නැත. ආහාරයක්ද පීමක්ද කඩා කෑමක්ද, වස්ත්‍ර පරිභොගයක්ද ඉඳුරන් හැසිරවීමේ ආශාවක්ද නැත.
528. “මොහුට පෙර අනුකම්පා ඇත්තා වූ යම් ඤාතීහුද දැක ඇසූ යම් මිත්‍රයෝත් වූවාහුද ඔව්හු තුමූ දැන් ඔහු දක්නට වත් නොලබත්. ඒ ජනයා විසින් හැර දමනලද ආත්මභාව ඇත්තේය.
529. “මළ අයට මිත්‍රයෝ නොවෙත්. මිත්‍රයෝ වස්තු විනාශයට පත් පුරුෂයා අතහැර දමත්. ධනය දැක මිත්‍රයෝ පිරිවරත්. සම්පත් ඇත්තාහට බොහෝවූම මිත්‍රයෝ වෙත්.
530. “සියලු උපභොග පරිභොග වස්තුවෙන් පිරිහුනු ස්වභාව ඇති දුක්පත්වූ ලෙයින් වැකුණ ශරීරය ඇත්තාවූ ඇතුළත පැලුන ශරීර ඇත්තේ තණ අග රැඳුනාවූ පිණිබිඳ මෙන් අද හෝ හෙට හෝ ජීවිතයාගේ නිරුද්ධය වෙයි.
531. “පින්වත්, යක්ෂය, මෙබඳුවූ ඉතාමත් දුකට පත්වූ කොසඹ හුලෙහි නංවන ලද්දහුට යලි පින්වත ජීවත්වෙව, ජීවිතයම ශ්‍රේෂ්ඨයයි කවරකරුණකින් නුඹ කියන්නෙහිද?”
532. “පින්වත් රජ මේ පුරුෂතෙම මගේ සහලේ නෑයෙක් විය. “මම පූර්ව ජාතිය සිහි කරමි. දැකම ලාමක ස්වභාව ඇති මේ පුරුෂතෙම නරකයෙහි නොවැටේවායි, මට කරුණා සිතක් විය.
533. “පින්වත් ලිච්ඡවී රජ නැමති පව්කම් කළා වූ මේ පුරුෂ තෙම මෙයින් චුතව ජනයන්ගෙන් උත්සන්නවූ දරුණු ස්වභාව ඇති මහත් දුක් ඇති මහත් සන්තාප ඇති කටුකවූ බිය උපදවන්නාවූ මහා නරකයෙහි උපදී.