1. 3.
7. “යහපත්වූ දිව්‍යමයවූ ශරීර වර්ණයක් දරන්නෙහිය. වෙහාසය නම්වූ අහසෙහි සිටින්නෙහිය. ඔබගේ කුණු ගඳ ගහන මුඛයද පණුවෝ කත්. පෙර කවර කර්මයක් කෙළෙහිද?”
8. “මම පවිටුවූ නපුරුවූ වචන ඇති ශ්‍රමණයෙක් වීමි. කටින් සංවර නොවූ තපස් ඇත්තෙක් වීමි. මාගේ තපස්කමින් වර්ණවත් ශරීර වර්ණයක් ලැබුනේවී නමුත් කේළාම් කීම නිසා කටකුණු විය.
9. “නාරදයන් වහන්ස, ඔබ විසින් මාගේ රූපය තෙමේම දක්නාලදී. අනුකම්පා ඇති යම්කිසි කෙනෙක් කියන්නාහු නම් යහපත් වචන කියන්නේය පංචකාමය කැමති දෙවියෙක් වනු කැමැත්තේ නම් කේළාම් නොකියනු මැනවි.”
3. පූතිමුඛ ප්‍රේතයාගේ කථාව
1. 4.
10. නොමසුරු තැනැත්තේ මළවුන්ද තවද ගෙවල් ආදියට අරක්ගත් දෙවතාවන්ද යන යම් කිසිවක් අරමුණු කොට දන් දෙන්නේය.
11. ඔව්හු ලෝකය රක්නා යසස් ඇත්තාවූ කුවෙරද, ධ්‍රතරාෂ්ටද, විරූපාක්ෂද, විරූළ්හකද යන සතර වරම් මහරජදරුවන් අරභයා දන් දෙන්නාහ. දායකයෝද ප්‍රයෝජන ලබති.
12. හැඬීමක් හෝ ශෝකයක් හෝ යම් අන්කිසි වැළපීමක් හෝ ප්‍රෙතයාගේ ප්‍රයෝජනය පිණිස නොවේ. ඤාතීහු මෙහිම සිටිත්.
13. සංඝයා කෙරෙහි මනාකොට පිහිටුවන ලද මේ දක්ෂිණාව බොහෝ කලක් ඔහුට හිත පිණිස එකෙණෙහිම පැමිණේ.
4. පිට්ඨධීතලික (පිටියෙන් තැනූ රූපය) නම් ප්‍රේතයාගේ කථාව
1. 5.
14. “ඤාති ප්‍රේතයෝ තමන් ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත්හිද සන්ධිස්ථාන වලද තුන්මංසන්ධි වලද දොර සමීපයෙහිද සිටිත්.
15. “බොහෝ ආහාරපානද කෑම්බීම්ද පිළියෙලව සිටි කල්හි ඒ සත්වයන්ගේ කර්ම හේතුවෙන් කිසිම නෑදෑයෙක් සිහි නොකරයි.
16. “යම් කෙනෙක් ඒ ප්‍රේත නෑයන්ට අනුකම්පා කරන්නෝ වෙත්ද, ඔව්හු ශුද්ධවූ ප්‍රණීතවූ කැපවූ ආහාර පාන වර්ග සුදුසු කාලයෙහි මෙසේ (මතු දැක්වෙන පරිද්දෙන්) පමුණවත්. “මේ පින නෑයනට වේවා. නෑයෝ සුවපත් වෙත්වා කියා’යි.
17. ඒ ඤාති ප්‍රේතයෝද එතැන්හි අවුත් එක්රැස්වූවාහු. ඒ බොහෝ ආහාර පාන තමන් උදෙසා දෙනකල ඒ සකසා අනුමෝදන් කොට ගණිත්.
18. “යම් කෙනෙකුත් හේතුකොටගෙණ මේ අවස්ථාවෙහි සම්පත් ලබමෝද ඒ අපේ නෑයෝ බොහෝ කල් ජීවත්වෙත්වා. ඔවුන් විසින් අපටද පූජා කරණ ලදී. දායකවූ ඔව්හුද ඒ දානමය පිනෙහි ඵල නොලබන්නෝ නොවෙත්’ (යයි කියා ඒ දන්දී පින් දුන් නෑයන්ට ප්‍රශංසා කරත්)
19. ඒ ප්‍රේත ලෝකයෙහි සීසෑමක් නොමැත. එහි ගව පාලනයෙක්ද නැත. රන් රිදීයෙන් ගනුදෙනුවෙක් නැත. එබඳුවූ අන් වෙළඳාමෙක්ද නැත. මළප්‍රේතවූ ඔව්හු මෙයින් දුන් දැයෙකින් (පිනෙන්) එහි යැපෙත්.
20. “උස්බිම වට වැසිදිය මිටිතෙනට යම්සේ ගලා බසීද, එසේම මෙයින් දුන්දේ ප්‍රේතයනට පැමිණේ.
21. “මහා නදීහු පිරුණාහු යම්සේ සාගරය පුරාලත්ද එසේම එසේම මෙයින් දුන් පින ප්‍රේතයනට පැමිණේ.
22. “මට මෙනම් දේ දුන්නේය, මගේ මෙනම් වැඩ කෙළේය. මගේ නෑයෙක, මගේ මිත්‍රයෙක, මගේ යහළුවෙකැයි ඔවුන් පෙරකළ උපකාර සිහිකරන්නේ ප්‍රේතයනට දක්ෂිණාව දෙන්නේය.
23. “හැඬීම හෝ ශෝකය හෝ යම් අන් විලාපයක් හෝ ඒ ප්‍රේතයන්ට වැඩ පිණිස නොවේ. ඒ ඤාතිප්‍රේතයෝ එහි ඒ උපන් පරිදිම සිටිත්.
24. “දෙන ලද මේ දක්ෂිණාව වනාහි සංඝයා කෙරෙහි මොනවට පිහිටියා ඒ ප්‍රේත ජනයාට දිගුකලක්ම හිත පිණිස එකෙණෙහිම පැමිණේ. හෙවත් එයින් සැප විපාක ලැබේ.
25. “ජීවත්ව සිටිනවුන් විසින් කළයුතුවූ ඒ මේ ඤාති ධර්මය දක්වන ලදී. ප්‍රේතයනට මහත් පූජාවෙක්ද කරණ ලදී. භික්‍ෂූනට ශක්තිජනක ආහාරපාන දීම් වශයෙන් බලයද දෙන ලදී. මෙසේ තොප විසින් මහත් පින් රැස් කරණ ලදී.”
5. (තිරොකුඞ්ඪ) ප්‍රාකාරාදියෙන් පිටත සිටි ප්‍රේතයන්ගේ කථාව