5. මංගල සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වසනසේක. එකල වනාහි එක්තරා දෙවියෙක් මැදුම්රැයෙහි මනහර ශරීරප්‍රභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේය. පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට
1. “බොහෝ දෙවියෝද මනුෂ්‍යයෝද යහපත පතන්නෝ අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු සෙවූහ. වහන්ස, අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු වදාරණ සේක්වායි” ගාථායෙන් කීය.
එවිට භාග්‍යවතුන් වහන්සේ:
2. බාලයන් ඇසුරු නොකිරීමද, පණ්ඩිතයන් ඇසුරු කිරීමද, පිදියයුත්තන් පිදීමද යන එය උතුම් මඟුල්ය.
3. “නිසි රටෙහි විසීමද, පෙර ජාතිවල රැස්කළ පින් ඇතිබවය, තමා ගුණදහම්හි පිහිටුවීමද යන එය උතුම් මඟුල්ය.
4. ධර්මශාස්ත්‍ර දෙක්හි බොහෝ උගත් බවද, ශිල්ප දැනීමද, කය වචන සිත මනාව හික්මවීමද, බොරු ආදියෙන් වෙන්වූ වචනයද යන එය උතුම් මඟුල්ය.
5. “මවට උපස්ථානයද, පියාට උපස්ථානයද, අඹුදරුවනට උපකාර කිරීමද, නිරවුල් කර්මාන්තද යන එය උතුම් මඟුල්ය.
6. “දීමද, දසකුසල් කිරීමද, නෑයනට උපකාර කිරීමද, නිවැරදි කර්මද, යන එය උතුම් මඟුල්ය.
7. “පව් කෙරෙන් තුන්දොර වැළැක්මද, මත්පැනින් වැළැක්මද, කුසල්දහම් වැඩීමෙහි නොපමාවද යන එය උතුම් මඟුල්ය.
8. “ගරුබුහුමන් කිරීමට සුදුස්සන්ට ගරුබුහුමන් කිරීමද, යටත්පහත් බවද, ලද දෙයින් සතුටුවීමද, කළගුණ දන්නා බවද, සුදුසු අවස්ථාවෙහි දහම් ඇසීමද යන එය උතුම් මඟුල්ය.
9. “ඉවසීමද, සුවච බවද, ශ්‍රමණයන් දැක්මද, නිසිකාලයෙහි ධර්ම සාකච්ඡාවද යන එය උතුම් මඟුල්ය.
10. “ඉන්ද්‍රිය සංවරය හා වීර්යයද, බ්‍රහ්මචර්යාවද, ආර්ය සත්‍යයන් අවබෝධයද, නිවණ නුවණැසට හමුකිරීමද යන එය උතුම් මඟුල්ය.
11. “අෂ්ටලොක ධර්මයෙන් හැප්පුණු යමෙකුගේ සිත නොසැලේ නම් ඒ නොසැලෙන සිතද, ශොකනැති සිතද, කෙලෙස්ධූලි නැති සිතද, උපද්‍රව නැති සිතද යන එය උතුම් මඟුල්ය.
12. “මෙවැනි අභිවෘද්ධියට කරුණුවූ දේ කිරීමෙන් හැමතන්හි නොපැරදුනෝව හැමතන්හි සැපසේ යත්. ඒ දේ ඒ පුරන්නහුට උතුම් මඟුල්ය.”
මංගල සූත්‍රය නිමා විය
6. රතන සූත්‍රය
1. “පොළොව උපන් හෝ අහස උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් දැන් මෙහි රැස්වූවෝද ඒ හැම අමනුෂ්‍යයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා. මාගේ වචනය සකසා අසත්වා.
2. “භූතයිනි, එබැවින් තෙපි හැමදෙන අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රී කරවු. ඒ යම් මිනිස් කෙනෙක් දහවලුත් රෑත් තොපට පුදපඬුරු ගෙනෙත්ද එබැවින් ඔවුන් නොපමාව රකිවු.
3. “මේ මිනිස්ලොව හෝ අන් නාග භවනාදී තැනෙක හෝ යම් වස්තුවෙක් ඇද්ද, ස්වර්ගයන්හි හෝ යම් අගනා රත්නයක් ඇද්ද, ඔවුන් අතරෙහි තථාගතයන්ට සමාන රත්නයක් නැත්තේමය. මේ කරුණින් බුදු රජ උත්තම රත්නයයි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
4. “ශාක්‍යමුනි තෙම එකඟ සිත් ඇත්තේ ක්ලෙශයන්ගේ ක්‍ෂයට නිමිතිවූ රාගයෙන් වෙන්වූ ජාති ජරා මරණ නැති උතුම්වූ යම් නුවණක් ලැබුයේද ඒ නිර්වාණ ධර්මයට සමාන කිසි දෙයක් නැත. මේ කරුණින්ද ධර්මය උතුම් රත්නයයි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
5. “බුද්ධශ්‍රේෂ්ඨතෙම අත්‍යන්ත ශුද්ධවූ යම් සමාධියක් වර්ණනා කෙළේද, අනතුරුවම ඵලදෙන සමාධියයි, යමකට බුද්ධාදීහු කියත්ද, ඒ මාර්ග සමාධිය හා සම අන් කිසිම සමාධියක් නැත. මේ කරුණින්ද ආර්ය මාර්ග ධර්මය උතුම් රත්නයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!