6. රතන සූත්‍රය
1. “පොළොව උපන් හෝ අහස උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් දැන් මෙහි රැස්වූවෝද ඒ හැම අමනුෂ්‍යයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා. මාගේ වචනය සකසා අසත්වා.
2. “භූතයිනි, එබැවින් තෙපි හැමදෙන අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රී කරවු. ඒ යම් මිනිස් කෙනෙක් දහවලුත් රෑත් තොපට පුදපඬුරු ගෙනෙත්ද එබැවින් ඔවුන් නොපමාව රකිවු.
3. “මේ මිනිස්ලොව හෝ අන් නාග භවනාදී තැනෙක හෝ යම් වස්තුවෙක් ඇද්ද, ස්වර්ගයන්හි හෝ යම් අගනා රත්නයක් ඇද්ද, ඔවුන් අතරෙහි තථාගතයන්ට සමාන රත්නයක් නැත්තේමය. මේ කරුණින් බුදු රජ උත්තම රත්නයයි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
4. “ශාක්‍යමුනි තෙම එකඟ සිත් ඇත්තේ ක්ලෙශයන්ගේ ක්‍ෂයට නිමිතිවූ රාගයෙන් වෙන්වූ ජාති ජරා මරණ නැති උතුම්වූ යම් නුවණක් ලැබුයේද ඒ නිර්වාණ ධර්මයට සමාන කිසි දෙයක් නැත. මේ කරුණින්ද ධර්මය උතුම් රත්නයයි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
5. “බුද්ධශ්‍රේෂ්ඨතෙම අත්‍යන්ත ශුද්ධවූ යම් සමාධියක් වර්ණනා කෙළේද, අනතුරුවම ඵලදෙන සමාධියයි, යමකට බුද්ධාදීහු කියත්ද, ඒ මාර්ග සමාධිය හා සම අන් කිසිම සමාධියක් නැත. මේ කරුණින්ද ආර්ය මාර්ග ධර්මය උතුම් රත්නයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
6. “සත්පුරුෂයන් විසින් පසස්නාලද යම් ආර්ය පුද්ගලයෝ අටදෙනෙක් වෙත්ද, ඔව්හු යුග සතරෙකි. සුගත් බුදුන්ගේ ශ්‍රාවකවූ ඔව්හු කම්පල අදහා දෙන දේ පිළිගැනීමට සුදුස්සෝය. ඔවුනට දුන්දේ මහත්ඵලය. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයයි. මේ සත්‍යයෙන් සෙත්වේවා.!
7. “ගෞතම බුදුන්ගේ සස්නෙහිවූ යම් ආර්ය ශ්‍රාවක කෙනෙක් ශීලයෙහි මොනොවට යෙදුනේද, ස්ථිර සිතින් යුක්තවූවෝද, සියලු කෙලෙසුන්ගෙන් නික්මුණේද, ඔව්හු නිවණට බැසගෙන නිවීම ඉබේම ලබාගෙන විඳින්නෝ පැමිණියයුතු දහමට පැමිණියාහුය. මේ කාරණයෙන් ද ආර්ය සංඝ රත්නය උතුම් රත්න වේ. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.!
8. “පොළොව බැස සිටි නුවර දොර සවිවන කනුව සිවුදිගින් හමන සුළඟින් යම්සේ නොසෙල්විය හැකිද ආර්ය සත්‍යයන් යමෙක් නුවණින් බැසගෙන දක්නේ නම් ඒ සත්පුරුෂයා එවැනිකොට කියමි. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයි. මෙ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
9. “ගැඹුරු නුවණ ඇති බුදුරජුන් විසින් මැනවින් දක්වන ලද ආර්ය සත්‍යයන් යම්කෙනෙක් තමනට ප්‍රකට කෙරෙත්ද, ඔව්හු කිසිසේත් බෙහෙවින් පමාවූවෝද අටවන අත්බවක් නම් නොගනිත්. මේ කරුණින්ද ආර්ය සංඝයා රත්නයකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.!