2. දශසිල් පද
පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං සමාදියාමි (සතුන් මැරීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි).
අදින්නාදානා වෙරමණීසික්ඛාපදං සමාදියාමි (නුදුන් දේ ගැනීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි).
අබ්රහ්මචරියා වෙරමණීසික්ඛාපදං සමාදියාමි (මෙවුන්දමෙහි හැසිරීමෙන් වැළක්මවූ සිල්පදය මැනවින් ගනිමි).
මුසාවාදා වෙරමණීසික්ඛාපදං සමාදියාමි (බොරු කීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි).
සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං සමාදියාමි (මත්වීමට හා පමාවීමට කරුණුවූ රහමෙර පීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි).
විකාලභොජනා වෙරමණීසික්ඛාපදං සමාදියාමි (නියම කාලය නොවන අවස්ථාවෙහි ආහාර ගැනීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි).
නච්චගීතවාදිතවිසූකදස්සනා වෙරමණීසික්ඛාපදං සමාදියාමි (නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් විසුළු දැක්මෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි).
මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා වෙරමණීසික්ඛාපදං සමාදියාමි (මල්ගඳ විලවුන් දැරීම අඩුතැන් පිරවීම සැරසීම යන මෙයට හේතුවූ කරුණින් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි).
උච්චාසයනමහාසයනා වෙරමණීසික්ඛාපදං සමාදියාමි (උස් ආසන මහා ආසනයන්ගෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි).
ජාතරූපරජතපටිග්ගහණා වෙරමණීසික්ඛාපදං සමාදියාමි (රන් රිදී මසුරන් කහවණු පිළිගැන්මෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි).
දශසිල් පද නිමා විය
3. දෙතිස් ආකාරය
මේ කයෙහි කෙස් ඇත, ලොම් ඇත, නිය ඇත, දත් ඇත, සම ඇත, මස් ඇත, නහර ඇත, ඇට ඇත, ඇටමිදුලු ඇත, වකුගඩු ඇත, හදවත ඇත, අක්මාව ඇත, දළඹුව ඇත, බඩදිව ඇත, පපුමස ඇත, අතුනු ඇත, අතුනු බහන් ඇත, නොපැසුනු අහර ඇත, පැසුණු අහර (මළ) ඇත, පිත ඇත, සෙම ඇත, සැරව ඇත, ලේ ඇත, ඩහදිය ඇත, මේදතෙල ඇත, කඳුළු ඇත, වුරුණුතෙල් ඇත, කෙළ ඇත, සොටු ඇත, සඳමිදුලු ඇත, මූත්‍ර ඇත, (හිස්මොළ ඇත.)
දෙතිස් ආකාරය නිමා විය
4. (සොපාක) කුමාර ප්‍රශ්න
එක නම් කිම?-සියලු සත්වයෝ ආහාරය නිසා සිටින්නෝය.
දෙක නම් කිම?-නාමයද රූපයද යන දෙකය.
තුන නම් කිම?-තුන් වේදනාවෝය.
සතර නම් කිම?-සතර ආර්ය සත්‍යයෝයි.
පස නම් කිම?-තෘෂ්ණා දෘෂ්ටි දෙකින් තදින් අල්වාගත් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන පසයි.
සය නම් කිම?-තමා කෙරෙහිවූ චක්‍ෂුප්‍රසාද, ශ්‍රොත ප්‍රසාද, ඝ්‍රාණප්‍රසාද, ජිව්හාප්‍රසාද, කායප්‍රසාද, මනස යන සයයි.
සත නම් කිම?-සති, ධම්මවිචය, විරිය, පීති, පස්සධි, සමාධි, උපෙක්ඛා යන සතර මාර්ගඥානය පිණිස පවත්නා බොජඣංග සතය.
අට නම් කිම?-සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
නවය නම් කිම?-නානත්තකාය නානත්තසඤ්ඤී, නානත්තකාය එකත්තසඤ්ඤී, එකත්තකාය නානත්තසංඤී, එකත්තකාය එකත්තසඤ්ඤී. අසංඤී, ආකාසානඤ්චායතනූපග, විඤාණඤ්චායතනූපග, ආකිඤ්චඤඤායතනූපග, නෙවසඤඤානාසඤඤායතනූපග යන නවවිධි සත්‍වයෝයි.
දහය නම් කිම?-රහත්හුගේ අංග දහයයි, රහත් සම්මා දිට්ඨි, රහත් සම්මාසංකප්ප, රහත් සම්මාවාචා, රහත් සම්මා කම්මන්ත, රහත් සම්මාආජීව, රහත් සම්මාවායාම, රහත් සම්මාසති, රහත් සම්මාසමාධිය යන අටත් සම්මාඤාණ, සම්මාවිමුක්ති යන දෙකත් වෙත්.
කුමාර ප්‍රශ්න නිමා විය.