3. දෙතිස් ආකාරය
මේ කයෙහි කෙස් ඇත, ලොම් ඇත, නිය ඇත, දත් ඇත, සම ඇත, මස් ඇත, නහර ඇත, ඇට ඇත, ඇටමිදුලු ඇත, වකුගඩු ඇත, හදවත ඇත, අක්මාව ඇත, දළඹුව ඇත, බඩදිව ඇත, පපුමස ඇත, අතුනු ඇත, අතුනු බහන් ඇත, නොපැසුනු අහර ඇත, පැසුණු අහර (මළ) ඇත, පිත ඇත, සෙම ඇත, සැරව ඇත, ලේ ඇත, ඩහදිය ඇත, මේදතෙල ඇත, කඳුළු ඇත, වුරුණුතෙල් ඇත, කෙළ ඇත, සොටු ඇත, සඳමිදුලු ඇත, මූත්‍ර ඇත, (හිස්මොළ ඇත.)
දෙතිස් ආකාරය නිමා විය
4. (සොපාක) කුමාර ප්‍රශ්න
එක නම් කිම?-සියලු සත්වයෝ ආහාරය නිසා සිටින්නෝය.
දෙක නම් කිම?-නාමයද රූපයද යන දෙකය.
තුන නම් කිම?-තුන් වේදනාවෝය.
සතර නම් කිම?-සතර ආර්ය සත්‍යයෝයි.
පස නම් කිම?-තෘෂ්ණා දෘෂ්ටි දෙකින් තදින් අල්වාගත් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන පසයි.
සය නම් කිම?-තමා කෙරෙහිවූ චක්‍ෂුප්‍රසාද, ශ්‍රොත ප්‍රසාද, ඝ්‍රාණප්‍රසාද, ජිව්හාප්‍රසාද, කායප්‍රසාද, මනස යන සයයි.
සත නම් කිම?-සති, ධම්මවිචය, විරිය, පීති, පස්සධි, සමාධි, උපෙක්ඛා යන සතර මාර්ගඥානය පිණිස පවත්නා බොජඣංග සතය.
අට නම් කිම?-සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
නවය නම් කිම?-නානත්තකාය නානත්තසඤ්ඤී, නානත්තකාය එකත්තසඤ්ඤී, එකත්තකාය නානත්තසංඤී, එකත්තකාය එකත්තසඤ්ඤී. අසංඤී, ආකාසානඤ්චායතනූපග, විඤාණඤ්චායතනූපග, ආකිඤ්චඤඤායතනූපග, නෙවසඤඤානාසඤඤායතනූපග යන නවවිධි සත්‍වයෝයි.
දහය නම් කිම?-රහත්හුගේ අංග දහයයි, රහත් සම්මා දිට්ඨි, රහත් සම්මාසංකප්ප, රහත් සම්මාවාචා, රහත් සම්මා කම්මන්ත, රහත් සම්මාආජීව, රහත් සම්මාවායාම, රහත් සම්මාසති, රහත් සම්මාසමාධිය යන අටත් සම්මාඤාණ, සම්මාවිමුක්ති යන දෙකත් වෙත්.
කුමාර ප්‍රශ්න නිමා විය.
5. මංගල සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වසනසේක. එකල වනාහි එක්තරා දෙවියෙක් මැදුම්රැයෙහි මනහර ශරීරප්‍රභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේය. පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට
1. “බොහෝ දෙවියෝද මනුෂ්‍යයෝද යහපත පතන්නෝ අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු සෙවූහ. වහන්ස, අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු වදාරණ සේක්වායි” ගාථායෙන් කීය.
එවිට භාග්‍යවතුන් වහන්සේ:
2. බාලයන් ඇසුරු නොකිරීමද, පණ්ඩිතයන් ඇසුරු කිරීමද, පිදියයුත්තන් පිදීමද යන එය උතුම් මඟුල්ය.
3. “නිසි රටෙහි විසීමද, පෙර ජාතිවල රැස්කළ පින් ඇතිබවය, තමා ගුණදහම්හි පිහිටුවීමද යන එය උතුම් මඟුල්ය.
4. ධර්මශාස්ත්‍ර දෙක්හි බොහෝ උගත් බවද, ශිල්ප දැනීමද, කය වචන සිත මනාව හික්මවීමද, බොරු ආදියෙන් වෙන්වූ වචනයද යන එය උතුම් මඟුල්ය.
5. “මවට උපස්ථානයද, පියාට උපස්ථානයද, අඹුදරුවනට උපකාර කිරීමද, නිරවුල් කර්මාන්තද යන එය උතුම් මඟුල්ය.
6. “දීමද, දසකුසල් කිරීමද, නෑයනට උපකාර කිරීමද, නිවැරදි කර්මද, යන එය උතුම් මඟුල්ය.
7. “පව් කෙරෙන් තුන්දොර වැළැක්මද, මත්පැනින් වැළැක්මද, කුසල්දහම් වැඩීමෙහි නොපමාවද යන එය උතුම් මඟුල්ය.
8. “ගරුබුහුමන් කිරීමට සුදුස්සන්ට ගරුබුහුමන් කිරීමද, යටත්පහත් බවද, ලද දෙයින් සතුටුවීමද, කළගුණ දන්නා බවද, සුදුසු අවස්ථාවෙහි දහම් ඇසීමද යන එය උතුම් මඟුල්ය.
9. “ඉවසීමද, සුවච බවද, ශ්‍රමණයන් දැක්මද, නිසිකාලයෙහි ධර්ම සාකච්ඡාවද යන එය උතුම් මඟුල්ය.
10. “ඉන්ද්‍රිය සංවරය හා වීර්යයද, බ්‍රහ්මචර්යාවද, ආර්ය සත්‍යයන් අවබෝධයද, නිවණ නුවණැසට හමුකිරීමද යන එය උතුම් මඟුල්ය.