78. “වනයෙහි ඉතා දුර සෙනසුන්හි ශීතාදිය ඉවසන්නට පිළිවන. යම් කෙනෙක් ගමෙහි ඉවසත්ද ඔව්හු එයට වඩා අතිශයින් උදාරවෙත්.
79. “පියාණෙනි, මම වනයෙන් ගමට පැමිණ කෙබඳු ශීලයක් කෙබඳු ව්රතයක් කෙබඳුවූ පුරුෂයකු සේවනය කරන්නෙම්ද, මට එය විචාරණ ලද්දෙහි කියව.
80. “පුත්‍රය, යමෙක් තා හා විශ්වාස කරන්නේද, තාගේ විශ්වාසයද බොහෝ කලක් පවත් වන්නේද, යමෙක් තාගේ වචනය අසනු කැමැත්තේද, යමෙක් තාගේ වචනය ඉවසන්නේද ඔහු මේ වනයෙන් ගියේ සෙවණය කරව.
81. “යමෙකුගේ කයින්ද වචනයෙන්ද, සිතින්ද වැරදි කිරීමක් නැද්ද, ඔහු ලෙහි සිටි පුත්‍රයෙකු සේ පිහිටුවා මේ වනයෙන් ගියේ සේවනය කරව.
82. “යමෙක් වනාහි සුචරිත ධර්මයෙන් හැසිරේද, එසේ හැසිරෙන්නේද මානය නොකරේද, විසුද්ධ නම් දශකුශලයන් කරන්නාවූ සප්‍රාඥ වූ ඔහු මෙයින් ගමට ගියෙහි භජනය කරව.
83. “පුත්‍රය, ඉදින් සියලු දඹදිව් තලය මිනිසුන් රහිතවූ නමුදු ස්ථිරවූ පැවැත්මක් නැති හෙයින් කහපාට සායම් පෙවීමක් වැනිවූ වඳුරෙකුට බඳු සිත් ඇති ඇලීම් නොඇලීම් දෙකින් යුක්තවූ එබඳු පුරුෂයා සේවනය නොකරව.
84. “කිපුනාවූ සර්පයෙකු වැනිවූ අශූචි තැවරුණු මහා මාර්ගයක් වැනිවූ අඥානයා විෂමවූ මාර්ගය යානාවකින් යන්නෙකු මෙන් දුරින් දුරු කරව.
85. “පුත්‍රය, අඥානයා අධික වශයෙන් සේවනය කරන්නහුට අනර්ථයෝ වැඩෙත්. සියලු කල්හි පස මිතුරුවූම අඥානයා හා සමාගමයට නොයව.
86. “පුත්‍රය, එහෙයින් මම තාගෙන් ඉල්වමි. මාගේ වචනය කරව, අඥානයා හා සමාගමට නොයව, කුමක් හෙයින්දයත්, අඥානයන් හා සංගමයතෙම දුක්වන්නේය.” (එහෙයිනි.)
9. හළිද්දිරාග ජාතකය.
87. “පින්වත්නි, තෙපි තුන්දෙනා කොයි සිට එව්ද, මෙහි මනාකොට ආවාහු ආසනයෙහි හිඳගනිව්. පින්වත්නි, සුව කවරහුද, කිම නිරෝගවම්ද, තොපගේ මෙහි පැමිණීම බොහෝ කලකින්ම විය.
88. “තපස්විය, හුදකළාවූයේ මමම මෙහි පැමිණියේ වෙමි. මට දෙවැනිවූ කිසිවෙක් නොම ඇත්තේය. පින්වත තෙපි තුන්දෙනා කොයින් ආවාහුදැයි ඔබ විසින් කුමක් සඳහා කියන ලදද.
89. “තෝ වනාහි තනිව බඩ තුළ කරඬුවෙක්හි බහා තබන ලද්දාවූ තොපගේ භාර්යාවද විය. තාගේ කුක්ෂියට පැමිණියාවූම තා විසින් රක්ෂා කරණ ලද්දාවූ ඕතොමෝ වායු පුත්‍රනම් විද්යාධරයෙකු හා ඒ ඇතුළු කුක්ෂියෙහිදීම ක්ලෙශවශයෙන් ඇලුණීවේ. (මෙසෙයින් තෙපි තුන්දෙනායයි කීමි.
90. “තපස්වීහු විසින් කියන ලද්දාවූ කලකිරුණු ස්වභාව ඇති. ඒ දානවතෙම එහිලා තමා බඩතුබූ කරඬුව වමෑරීය. ඊට අනතුරුව වායු පුත්‍ර නම් විද්යාධරයා හා ඔහු කෙරෙහි ඇළුනාවූ පිවිතුරු ලේ බර දරන්නාවූ භාර්යාව දුටුවේය.
91. “උග්රවූ තපස් අනුව පවත්නාවූ ඔබ විසින් කාරණය මනාකොට දක්නා ලදී. එසේහෙයින් යම්සේ ඒකාන්තයෙන් මෙහිලා මාගේ ප්‍රාණය මෙන් රක්නා ලද්දී මා කෙරෙහි දුෂ්ටවූවා අනික් පුරුෂයෙකු කැමතිවීද, එහෙයින් යම්පුරුෂ කෙනෙක් ස්ත්රීන්ගේ වසඟයට ගියාහුද ඔව්හු හීනයෝ වෙත්.
92. “වනයෙහි වසන්නාවූ තපස්වීහු විසින් ගින්නක් මෙන් මා විසින් දාවල්ද රාත්‍රියෙහිද උපස්ථාන කරණ ලද ඕතොමෝ පතිව්රතා ධර්මයෙන් ඉවත්ව අධර්මයෙහි හැසුරුණේය. එහෙයින් ස්ත්‍රීන් සමග සම්බන්ධය නොකටයුතු ස්වරූප ඇත්තේයි.
93. “මාගේ ශරීර මධ්‍යයෙහි හෙවත් කුසතුල සිටියා යයිද මෝතොමෝ මාගේ යයිද අසත්පුරුෂවූ සංයම නැත්තාවූ තැනැත්තියයි මම සිතීමි. ඕතොමෝ පතිව්රතා ධර්මයෙන් ඉවත්ව අධර්මයෙහි හැසුරුනේය. එහෙයින් ස්ත්‍රීන් හා එක්වීම නොකළ යුත්තේ වේ.
94. “මා විසින් මනාකොට රක්නා ලද්දීයයි කෙසේ නම් විශ්වාස කෙරෙම්ද, නොයෙක් සිත් ඇති ස්ත්‍රීන් කෙරෙහි රැකීමක් නම් නැත. එය එසේමැයි. මොහු වනාහි ලෝකශ්වාද වශයෙන් පිරවීමට අපහසු හෙයින් සමුද්‍ර පාතාලයයි කියන ලද ප්රපාතය හා සමානය. මෙහි ප්‍රමාදවූ පුරුෂ තෙම ව්‍යසනයට පැමිණේ.