1. “කණු සිටුවා රැහැන් ඇද කරණ ලදහෙයින් සංකුපථ නම්වූ පැරණිවූ ගිජුකුළු මුදුනෙහි මාර්ගයක් විය. එහි ගිජුලිහිණියෙක් මහළු මව්පියන් පොෂණය කෙළේය.
2. “ඔවුන්ට වුරුණු තෙල් සහිත පිඹුරුමය බොහෝ සෙයින් ගෙණායේය. පියතෙමේද දන්නේ උස්තැන්හි පැන යන්නාවූ මහත් බල ඇති ඉතා දුර යන්නාවූ පක්ෂ බලඇති සුපත්ත නම්වූ පුත්රයාහට මෙසේ කීයේය.
3. “දරුව, යම් කලෙක මුහුදින් වටවූ රිය රෝදයක් මෙන් රවුම්වූ ඉල්පෙන්නාවූ පෘථිවිය දන්නේද, හෙවත් දකින්නෙහිද දරුව එයින් නවතුව ඉන් එහා නොයව.
4. “බලවත්වූ පියාපත් ඇති වක්වූ ග්රීවා ඇති පක්ෂි රාජතෙම පර්වතයන්ද වනයන්ද බලමින් වේගයෙන් අහසට පැන නැංගේ විය.
5. “යම්සේ යවයි කියා පියාගෙන් අසන ලදද, එසේවූ සයුරෙන් වට කරණ ලද රිය රෝදයක් මෙන් වටවූ පෘථිවිය ගිජු ලිහිණිතෙම දුටුයේය.
6. “හෙතෙම ඒ පියාගේ අවවාදයද ඉක්මවා ඈතටම ගියේය. බල ඇති ඒ පක්ෂියාද තියුණුවූ වළාමඩුළු පැහැර ගත්තේය.
7. “වේරම්බ වාතයන්ගේ වසයට ගියාවූ කියන ලද මාර්ගය ඉක්මවා ගියාවූ පක්ෂිරාජතෙම නැවත නවතින්ට නොහැකි විය. විනාශයටම පැමිණුණේය.
8. “අවවාදය අනුව නොපිළිපදින්නාවූ යම් ගිජුලිහිණියෙක්වීද ඔහුගේ පුත්රයෝද භාර්යාවෝද සෙසු පිරිවර ජනයෝද යන යම් කෙනෙක් ඇද්ද? ඒ සියල්ලෝ විනාශයට පැමිණියාහුය.
9. “මෙසේම මේ ලෝකයෙහි යමෙක් තෙම වැඩිහිටියන්ගේ වචනය දැන නොකෙරේද, සීමාව ඉක්මවා හැසිරෙන්නාවූ උඩඟුවූ ඉක්මවූ අනුශාසනා ඇති ගිජුලිහිණියා මෙන් වැඩිහිටියන්ගේ අවවාදය නොකොට සියල්ලෝ විනාශයට පැමිණෙත්.”
ගිජ්ඣජාතකං පඨමං.
10. “පතළාවූ ශබ්ද ඇති සමානවූ ජනතෙම කිසිවෙක් අඥානයයි නොදන්නේය. සංඝයා බිඳෙන කල්හි අනිකක් බොහෝසෙයින් නොදත්හ.
11. “අඥානයෝ පණ්ඩිත මානී බැවින් වචනවල ආඩම්බර ඇත්තාහ. මුඛාරූඪවූවක්ම කියන්නාහ. යම්තාක් කැමති වෙද්ද, ඒතාක් මුඛාරූඪකොට යම් කලහයකින් මේ නිර්ලජ්ජී භාවයට පමුණුවන ලද්දාහුද, එය නොදත්හ.
12. “මට ආක්රොශ කෙළේය. මට ගැසීය. මා පැරදවීය. මා සතු දෑ සොරකම් කොට ගත්තේයයි යමෙක් තුමූ ඒ වෛරය බැඳ ගනිද්ද, ඔවුන්ගේ වෛරය නොසංසිඳේ.
13. “මට බැන්නේය. මා පැරදවීය, මා අයිති දෙය සොරකම්කොට ගන්නේයයි යමෙක් තුමූ ඒ වෛරය නැවත නැවත නොබැඳ ගණිද්ද, ඔවුන්ගේ වෛරය සංසිඳේ.
14. “මේලෝකයෙහි වෛරයෝ කිසිකලෙකත් වෛරයෙන් නොසංසිඳෙත්. වෛරය නොකිරීමෙන්ම සංසිඳෙත්. මේ අවෛරයෙන් වෛරය සංසිඳුවීම බුද්ධාදී උතුමන්ගේ පුරාතන ධර්මයකි.
15. මේ සඟමැද අන්යයෝ අපි මරුමුවට යම්හයි නොහොත් කලහ කිරීමට උත්සාහ කරම්හයි නොදනිත්. එහි යමක්හු වනාහි අපි කලහ කිරීමට යත්න කෙරෙමුයි දනිද්ද, එහෙයින් කලහයෝ සංසිඳෙත්.
16. ඇට සිඳිනාලද දිවිතොර කරන්නාවූ ගවයන් අශ්වයන් හා රන් රුවන් ආදී ධන සොරකම්කොට ගන්නාවූ රට කොල්ල කන්නාවූ ඒ රජවරුන්ගේද එක්වීමවේ. කුමක් හෙයින් තොපගේ සමගිය නොවන්නේද?
17. “නුවණැති, සමග හැසිරෙන, යහපත් හැසුරුම් ඇති ධෛර්ය්යවත්වූ කල්යාණ මිත්රයෙකු ඉදින් ලබන්නේ නම් සියලු උපද්රවයන් මැඩ ඔහු හා සතුටු සිත් ඇත්තේ ස්මෘතිමත් වූයේ හැසිරෙන්නේය.
18. “නුවණැති, සමග හැසිරෙන මනා හැසුරුම් ඇති ධෛර්ය්ය සම්පන්නවූ යහපත් මිත්රයෙකු ඉදින් නොලබන්නේ නම් දිනන ලද රටහැර වනගතවූ මහාජනක රජහු මෙන්ද වනයෙහි හුදකලාව වසන මාතංග නම්වූ පාරිලෙය්යක ඇතු මෙන්ද තනිව හැසිරෙන්නේය.
19. “තනිවූවහුගේ හැසිරීම උතුම්වේ. අඥානයා කෙරෙහි සහාය බවක් නැත්තේය. වනයෙහි තනිව වසන මාතංග නම්වූ ඇතු මෙන් උත්සාහ රහිතව තනිව හැසිරෙන්නේය. පව් නොම කරන්නේය.”
කොසම්බියජාතකං දුතියං.