10. “පතළාවූ ශබ්ද ඇති සමානවූ ජනතෙම කිසිවෙක් අඥානයයි නොදන්නේය. සංඝයා බිඳෙන කල්හි අනිකක් බොහෝසෙයින් නොදත්හ.
11. “අඥානයෝ පණ්ඩිත මානී බැවින් වචනවල ආඩම්බර ඇත්තාහ. මුඛාරූඪවූවක්ම කියන්නාහ. යම්තාක් කැමති වෙද්ද, ඒතාක් මුඛාරූඪකොට යම් කලහයකින් මේ නිර්ලජ්ජී භාවයට පමුණුවන ලද්දාහුද, එය නොදත්හ.
12. “මට ආක්රොශ කෙළේය. මට ගැසීය. මා පැරදවීය. මා සතු දෑ සොරකම් කොට ගත්තේයයි යමෙක් තුමූ ඒ වෛරය බැඳ ගනිද්ද, ඔවුන්ගේ වෛරය නොසංසිඳේ.
13. “මට බැන්නේය. මා පැරදවීය, මා අයිති දෙය සොරකම්කොට ගන්නේයයි යමෙක් තුමූ ඒ වෛරය නැවත නැවත නොබැඳ ගණිද්ද, ඔවුන්ගේ වෛරය සංසිඳේ.
14. “මේලෝකයෙහි වෛරයෝ කිසිකලෙකත් වෛරයෙන් නොසංසිඳෙත්. වෛරය නොකිරීමෙන්ම සංසිඳෙත්. මේ අවෛරයෙන් වෛරය සංසිඳුවීම බුද්ධාදී උතුමන්ගේ පුරාතන ධර්මයකි.
15. මේ සඟමැද අන්යයෝ අපි මරුමුවට යම්හයි නොහොත් කලහ කිරීමට උත්සාහ කරම්හයි නොදනිත්. එහි යමක්හු වනාහි අපි කලහ කිරීමට යත්න කෙරෙමුයි දනිද්ද, එහෙයින් කලහයෝ සංසිඳෙත්.
16. ඇට සිඳිනාලද දිවිතොර කරන්නාවූ ගවයන් අශ්වයන් හා රන් රුවන් ආදී ධන සොරකම්කොට ගන්නාවූ රට කොල්ල කන්නාවූ ඒ රජවරුන්ගේද එක්වීමවේ. කුමක් හෙයින් තොපගේ සමගිය නොවන්නේද?
17. “නුවණැති, සමග හැසිරෙන, යහපත් හැසුරුම් ඇති ධෛර්ය්යවත්වූ කල්යාණ මිත්රයෙකු ඉදින් ලබන්නේ නම් සියලු උපද්රවයන් මැඩ ඔහු හා සතුටු සිත් ඇත්තේ ස්මෘතිමත් වූයේ හැසිරෙන්නේය.
18. “නුවණැති, සමග හැසිරෙන මනා හැසුරුම් ඇති ධෛර්ය්ය සම්පන්නවූ යහපත් මිත්රයෙකු ඉදින් නොලබන්නේ නම් දිනන ලද රටහැර වනගතවූ මහාජනක රජහු මෙන්ද වනයෙහි හුදකලාව වසන මාතංග නම්වූ පාරිලෙය්යක ඇතු මෙන්ද තනිව හැසිරෙන්නේය.
19. “තනිවූවහුගේ හැසිරීම උතුම්වේ. අඥානයා කෙරෙහි සහාය බවක් නැත්තේය. වනයෙහි තනිව වසන මාතංග නම්වූ ඇතු මෙන් උත්සාහ රහිතව තනිව හැසිරෙන්නේය. පව් නොම කරන්නේය.”
කොසම්බියජාතකං දුතියං.
20. “යම් කලෙක්හි ගස හටගත් ගෙඩි ඇත්තේ වේද, එකල්හි එය කුරුල්ලෝ අත්තෙන් අත්තට යන්නාහු කත්. ගෙඩි අවසන්වූ කල්හි ගස ගෙඩි නැතැයි දැන කුරුල්ලෝ එයින් දිශානු දිශාවට යෙත්.
21. “ලේවන් තුඩු ඇති පක්ෂි රාජය, සැරිසරමින් හැසුරුනෙහි. කීර පක්ෂිය, නුඹ වියලි ගසෙහි කිම, සිතිවිලි සිතන්නෙහිද, එබැවින් එය කියව. වසන්ත වනයට බඳු පැහැ ඇති කීර පක්ෂිය, කුමක් හෙයින් වියලි ගස නොහරනෙහිද,
22. “එම්බා හංස රාජය, ඉදින් යහළුවන්ට යම් යහළු කෙනෙක් වෙද්ද, ඔහු තුමූ දිවි තොරවීමෙහිද සුව දුක් දෙක්හිද පිරිහුණේයයිද නොපිරිහුණේයයිද එය සත්පුරුෂයෝ සත්පුරුෂයන්ගේ ධර්මය සිහිකරන්නාහු අත්නොහරිත්.
23. “එම්බා හංස රාජය, ඒ මම සත්පුරුෂයන්ගෙන් එක්තරා එකෙක් වෙමි. මට මේ රුක නෑයාද වේ. යහළුවාද වේ. පිරිහුණේයයි දැන ජීවත්වීම ප්රයෝජනකොට ඇත්තේ එය හැර දමන්ට උත්සාහ නොකරමි. ඒ හැරදැමීම සත්පුරුෂ ධර්මය නොවේ.
24. “යහළු බවද මෛත්රියද පිරිස් මැද සමාගමයද මනා කොට කරණ ලද්දේවේ. ඉදින් ඒ ධර්ම තුන රුචිවෙහි නම් දන්නවුන්ගේ ප්රශංසාවට සුදුස්සෙක් වෙහිය.
25. “පියාපත් යානා කොට ඇති අහසින් ගමන් කරන්නාවූ වක්රවූ ග්රීවා ඇති කීර පක්ෂි රාජය, ඒ මම තොපට කැමති වරයක් දෙමි. සිතෙහි යම්කිසිවක් කැමැත්තෙහි නම් එය ඉල්වා ගණුව.
26. “එම්බා හංස රාජය, නුඹ ඉදින් මට වරයක් දෙන්නේ නම් මේ දිඹුල් රුක නැවත ආයුෂ ලබාවා ඒ ගස අතු ඇත්තේ ගෙඩි ඇත්තේ මනාව වැඩුණේ මිහිරි ඵල ඇත්තේ ශොභමානව සිටීවා.
27. “යහළුව, මහත්වූ ඵල ඇති ඒ වෘක්ෂය බලව දිඹුල් ගස හා සමගම තාගේ වාසය වේවා. ඒ දිඹුල් රුක අතු ඇත්තේ ගෙඩි ඇත්තේ මනාව වැඩුණේ මිහිරි ඵල ඇත්තේ සොභමාන වෙමින් සිටීවා.