1156. “කොක් රජුට නිවෙස්වූ මාගේ පියා සතු ගෙයවූ මේ මඟුල් පොකුණ පෙර දියසොරොව්වෙන් දිය පිවිසි කල්හි බොහෝ මසුන් ඇත්තේයයිද බොහෝ දිය ඇත්තේයයිද කියත්. ඒ අපි අද මැඩියෙකු පමණින් යැපෙමු. එසේ වුවත් වාසස්ථානය නොහරිමු.
1157. “නොහික්මුනාවූ බන්ධුර නම් ඇත් ගොව්වාගේ දෙවෙනි ඇස කවරෙක් බිඳීද, කවරෙක්තෙමේ මාගේ පුතුන්ද කූඩුවද මාද සුවපත් කරන්නේද,
1158. “යම්තාක් ඒ ඵලය පිළිබඳ ගමනවීද සියලු ඵලය කන ලද්දීය. මහරජ, ක්ෂයවූ කෑයුතු ඵලය ඇති ගුල්ලා හරෙහි නොඇලේ.
1159. “ඒ මම මෙයින් ගොස් රජ නිවෙසින් මිදුනී රුක් අතු නිවෙස් කොට ඇත්තී තමා කවර දවසක සතුටු කරවන්නෙම්දෝහෝ
1160. “ඒ මම මෙයින් ගොස් රජහුගේ නිවෙසින් මිදුනේ මෘග සමූහයාගේ ඉදිරියෙන් ගමන් කරන්නේ උතුම් දිය හෙවත් නොඉඳුල් පැන් කවර දවසක පානය කරන්නෙම් දෝ හෝ
1161. “පිටත්හි රටවැසි භරත නම් වැදිතෙම පස්කම් සැපයෙන් සම්පූර්ණවූ රාගයෙන් රත්වූ කාමයන්හි මූර්ඡාවූ ඒ මා මෙහි ගෙණායේය. තට යහපතක් වේවා.
1162. “බලවත් අන්ධකාරයෙහි උස්වූ පර්වතය මතුයෙහි ඒ මාගේ බිරිඳවූ කිඳුරී තොමෝ ගලෙහි පය නොපැකිලේවායි සිළුටුවූ මෘදු වචනයෙන් මට කීවාය.
1163. “ජාතීන්ගේ ක්ෂය කිරීමයයි කියන ලද නිවන්දුටු මම නිසැකව මව් කුස හිඳීමට නැවත නොපැමිණෙන්නෙමි. මෝතොමෝ වනාහි මාගේ කෙළවරවූ කුස පිළිසිඳීම වේ. මාගේ නැවත ඉපදීම ඇති සසර ගෙවුණේය.”
2. අට්ඨසද්ද ජාතකය.
1164. “පින්වත, මේ ගෙල පළඳනා ආභරණයද, බොහෝවූ මුතුද වෛදූර්ය මාණික්‍යද යන සියල්ල හැර ගණුව, මාද දාසියකැයි මහජනයාට අස්වව.
1165. “සොඳුර, මේ පළඳනා මුදා තබව, බොහෝ කොට නොවැළපෙව, තී නොමරා ගෙණෙන ලද ධනය මම නොදනිමි. නොගනිමියි සේයි.
1166. “යම් කලක පටන් තමා සිහි කෙරෙම්ද, යම් කලක පටන් දැනුම් ඇති බවට පැමිණියේ වෙම්ද, මම තට වඩා ඉතා ප්‍රියවූ අනිකෙකු නොම දනිමි.
1167. “එව, ඔබ වැළඳගන්නෙමි. ඔබ ප්රදක්ෂිණාද කරන්නෙමි. දැන් නැවත මාගේද ඔබගේද එක්වීමෙක් නොම ඇත්තේය.
1168. “සියලු තන්හි පුරුෂ තෙම පණ්ඩිත නොමවේ. පණ්ඩිතවූ ස්ත්‍රිද ඒ ඒ තන්හි විචක්ෂණා වන්නීවේ.
1169. “සියලු තන්හි පුරුෂතෙමේ පණ්ඩිත නොමවේ. වහා කරුණු සිතන්නීවූ ස්ත්‍රී තොමෝද පණ්ඩිතවේ.
1170. “ඒකාන්තයෙන් යුහුවද ශීඝ්රවද සමීපයෙහි සිටම ඔහු මරණ උපාය සිතී සම්පූර්ණවූ දුන්නෙන් මුවෙකු මෙන් සුලසා තොමෝ සත්තුක නම් සොරහු මැරීය.
1171. “මේ ලෝකයෙහි යමෙක් තෙමේ පැමිණි කාරණය වහා දැන නොගනීද, මද නුවණැති හෙතෙමේ පර්වත ප්‍රපාතයෙහි සොරාමෙන් නැසේ.
1172. “මේ ලෝකයෙහි යමෙක්තෙමේ තමන් වෙත පැමිණි කාරණය වහාම දැනගණීද, හෙතෙමේ සුලසා තොමෝ සත්තුක නම් සොරාගෙන් මිදුනාක් මෙන් සතුරු උපද්‍රවයෙන් මිදේයයි” කීයේය.
3. සුළසා ජාතකය.
1173. “අතිශයින්ම මම කිපියෙමියි බලා පෘථිවිශ්වර තෙමේ පළමුකොට දඬුවම් නොපනවන්නේය. කුමක් හෙයින්දයත්, අකාරණයෙන් තමා රජ බවට නුසුදුසු දෙය කරවයි. අන්‍යයන්ට බලවත් දුක් කියන්නේය.