1147. කාත්‍යායනිය, හැඳි සුදුවත් ඇත්තී පිරිසිදුවූ තෙත්වූ කෙහෙඇත්තී පිසන තලිය මිනිස් හිස් උදුනට නංවා තල පිටියෙන් සහල් කිම දෝනෙහිද තල බත කුමකට වන්නේද?
1148. යහපත් නුවණ ඇති බ්‍රාහ්මණය, මේ තල බත වනාහි බොජුන් පිණිස නොවන්නේය. වැලිකුමටද යත් ධර්මයතෙම මළේය. ඒ ධර්මයට සොහොන් මැද මම මේ මතක බත කරන්නෙමි.
1149. කාත්‍යායනිය විමසා දැන මේ කටයුත්ත කරව. ධර්මය තෙම මළේයයි මෙය තව කවරෙක් නම් කීයේද, අසමවූ ආනුභාව ඇති දහසක් නෙත් ඇති ශක්‍ර තෙමේ උතුම් ධර්මයවේ. කිසිකලෙකත් හේ නොමියේයයි” කීයේය.
1150. බමුණෙනි ධර්මයතෙම මළේයයි මෙහි මාගේ දැඩිවූ ප්‍රමාණයවේ. මට මෙහිලා සැකයක් නැත්තේය. ඊට කරුණු කිමයත්? දැන් යම් යම් කෙනෙක්ම පාපයෝ වෙද්ද ඔව්හු ඔව්හුම දැන් සුවපත්වූවෝ වෙත්.
1151. මාගේ යෙහෙළිණිය වනාහි වඳවූවාය. ඕතොමෝ මට හිංසාකොට පුතකු වැදුවාය. ඕතොමෝ දැන් කුලයට අධිපතිවූවාය. මම වනාහි බැහැරදමනලද්දී අනාථ වීමි.
1152. මම ජීවත්වෙමි. මම මළේ නොවෙමි. තී සඳහාම මෙහි ආයේ වෙමි. යම් යෙහෙළිණියක් තොමෝ තීට වධ කොට පුතෙකු වැදුවාද, පුතු හා සමගම ඇය හළු කෙරෙමියි කීයේය.
1153. දිව්‍ය රාජය, මෙයද ඔබට රුචිවේ. මා සඳහාම මෙහි ආයේ වෙහිය. මමද පුතුද යෙහෙළියද මුණුබුරුද සතුටු වෙමින් ගෙහි වෙසෙමු.
1154. කාත්‍යායනිය තීට මෙයද රුචිවේ. තලනු ලැබුවාමවූ තීද පුතුන් කෙරෙහි මෛත්‍රී ධර්මය දුරුනොකෙළෙහිය. තීද පුත්‍රයාද යෙහෙලීද මුණුබුරාද සතුටුවෙමින් ගෙහි වාසය කරව්.
1155. “ඒ කාත්‍යායන ගොත්‍ර ඇත්තී යෙහෙළිණිය හා සමග සතුටුවෙමින් ගෘහයෙහි විසීය. දෙවෙන්ද්‍රවූ ශක්‍රයා විසින් අධිගෘහිතවූ පුත්‍රයාද මුණුබුරාද ඇයට උපස්ථාන කළාහුයයි” වදාළේය.
1. කච්චානි ජාතකය.
1156. “කොක් රජුට නිවෙස්වූ මාගේ පියා සතු ගෙයවූ මේ මඟුල් පොකුණ පෙර දියසොරොව්වෙන් දිය පිවිසි කල්හි බොහෝ මසුන් ඇත්තේයයිද බොහෝ දිය ඇත්තේයයිද කියත්. ඒ අපි අද මැඩියෙකු පමණින් යැපෙමු. එසේ වුවත් වාසස්ථානය නොහරිමු.
1157. “නොහික්මුනාවූ බන්ධුර නම් ඇත් ගොව්වාගේ දෙවෙනි ඇස කවරෙක් බිඳීද, කවරෙක්තෙමේ මාගේ පුතුන්ද කූඩුවද මාද සුවපත් කරන්නේද,
1158. “යම්තාක් ඒ ඵලය පිළිබඳ ගමනවීද සියලු ඵලය කන ලද්දීය. මහරජ, ක්ෂයවූ කෑයුතු ඵලය ඇති ගුල්ලා හරෙහි නොඇලේ.
1159. “ඒ මම මෙයින් ගොස් රජ නිවෙසින් මිදුනී රුක් අතු නිවෙස් කොට ඇත්තී තමා කවර දවසක සතුටු කරවන්නෙම්දෝහෝ
1160. “ඒ මම මෙයින් ගොස් රජහුගේ නිවෙසින් මිදුනේ මෘග සමූහයාගේ ඉදිරියෙන් ගමන් කරන්නේ උතුම් දිය හෙවත් නොඉඳුල් පැන් කවර දවසක පානය කරන්නෙම් දෝ හෝ
1161. “පිටත්හි රටවැසි භරත නම් වැදිතෙම පස්කම් සැපයෙන් සම්පූර්ණවූ රාගයෙන් රත්වූ කාමයන්හි මූර්ඡාවූ ඒ මා මෙහි ගෙණායේය. තට යහපතක් වේවා.
1162. “බලවත් අන්ධකාරයෙහි උස්වූ පර්වතය මතුයෙහි ඒ මාගේ බිරිඳවූ කිඳුරී තොමෝ ගලෙහි පය නොපැකිලේවායි සිළුටුවූ මෘදු වචනයෙන් මට කීවාය.
1163. “ජාතීන්ගේ ක්ෂය කිරීමයයි කියන ලද නිවන්දුටු මම නිසැකව මව් කුස හිඳීමට නැවත නොපැමිණෙන්නෙමි. මෝතොමෝ වනාහි මාගේ කෙළවරවූ කුස පිළිසිඳීම වේ. මාගේ නැවත ඉපදීම ඇති සසර ගෙවුණේය.”
2. අට්ඨසද්ද ජාතකය.