1107. “මම බඹ දහසක් පමණ ඇති නයෙකු ගෙණ ආයෙමි. මහත්වූ ශරීර ඇති ඒ නයාද මාද දරන්නේ නොවෙවුලයි.
1108. “කෝට සිම්බලිය, එසේ කල්හි මට වඩා ඉතා මදවූ මස් ඇති මේ කුඩා පක්ෂියා දරන්නේ බිය පත්වූයෙහි, කුමට වෙව්ලන්නෙහිද,
1109. “රාජය, තෝ මස් කන්නෙහි මේ පක්ෂිතෙම ගෙඩි කන්නේය. මෙතෙම නුග ඇටද පුලිල ගෙඩිද දිඹුල් ගෙඩිද ඇසතු ගෙඩිද අනුභව කොට මාගේ කඳෙහි වර්චස් හෙලන්නේ (මළ පහ කරන්නේය.)
1110. “මාගේ පසෙක්හි වාත රහිත ස්ථානයෙහි හටගත්තා වූ ඒ නුග ආදී වෘක්ෂයෝ මනාව වැඩෙත්. ඔව්හු මා වැළඳ ගන්නාහ. මා වෘක්ෂ නැත්තහු කරන්නාහ.
1111. “නුග ආදී බිජුවට ගෙණෙන ලද මේ කුරුලු ජාතීන් විසින් නසනලද මුල් සහිත කඳ ඇති අන්‍යවූද දාම නම්වූ වෘක්ෂයෝ ඇත්තාහ.
1112. “රාජය, මහත්වූද වනදෙටු රුක් යටපත් කොට හටගන්නාහු වැඩෙත්. එසේහෙයින් මතු පැමිණෙන භය දක්නෙම් වෙව්ලමි.
1113. “සැක කටයුත්තන් සැක කරන්නේය. නොපැමිණියාවූ භය රක්නේය. ප්‍රාඥතෙම නොපැමිණි භය හේතුකොට ගෙණ දෙලොව බලන්නේය.
7. කොටිසිම්බලිජාතකං.
1114. “දහම් කැමැතිවූ යුධිට්ඨිල නම් රජතෙම විධුර පණ්ඩිතයන් විචාළේය. බ්‍රාහ්මණය, හුදකලාවූ කවරෙක් නම් බොහෝ කරුණෙන් ශොක කෙරේයයි දන්නෙහිදැයි විචාළේය.
1115. “එළු සමූහයාගෙන් යුක්තව බොහෝ දර ඇතිව වනයෙහි වසන්නාවූ වාසෙට්ඨ නම් බමුණුතෙම රෑ දාවල් අනලස්ව මැසි උවදුරු හරණ පිණිස ගිනි දුම් කෙළේය.
1116. “ඒ ගිනිදුම් ගඳින් මැසි මදුරුවන්ගෙන් පෙළුනාවූ සරභ මෘගයෝ ඒ ගිනිදුම් කරන්නාවූ බ්‍රාහ්මණයාගේ සමීපයෙහි වර්ෂා කාලයෙහි විසීමට පැමිණියාහුය.
1117. “ඒ බමුණුතෙම සරභ මෘගයන් කෙරෙහි ස්නෙහ උපදවා ගොදුරු පිණිස හැසිර එන්නාවූද ගාලින් නික්ම යන්නාවූද එළුවන් නොදනියි. එසේ නොසළකන්නාවූ ඔහුගේ ඒ එළුවෝ සිංහ උපද්‍රව ආදියෙන් විනාශ වූහ.
1118. “සරභ මෘගයෝ මැසි මදුරුවන් ප්‍රහීණවූ වනය ඇති, ශරත් කාලයෙහි ගංගාවන්ගේ හටගැන්ම ඇත්තාවූ පර්වත දුර්ගවලට පිවිසියාහුය.
1119. “වනයට ගියාවූ සරභ මෘගයන්ද විනාශයට පැමිණියාවූ එළුවන්ද දැක ඒ අජපාල බ්‍රාහ්මණතෙම ශෝකයෙන් කෘශවූයේ දුර්වර්ණ ශරීර ඇත්තේ හටගත් පාණ්ඩු රෝග ඇත්තෙක්ද වූයේය.
1120. “මෙසේ යමෙක් ස්වකීය ජනයා හැර දමා ආගන්තුග ජනයා ප්‍රිය කෙරේද හෙතෙම හුදකළාවූ ඒ ධූමකාරී බ්‍රාහ්මණයා මෙන් බොහෝසෙයින් ශොක කෙරෙයි.
8. ධූමකාරිජාතකං.
1121. “මේ ලෝකයෙහි කවරෙක් තෙම නිදි දුරු කරන්නවුන් අතුරෙහි සයනය කෙළේවේද? මේ ලෝකයෙහි කවරෙක් තෙම සයනය කළවුන් අතුරෙහි නිදි දුරු කෙළේවේද, කවරෙක්තෙම මාගේ මේ ප්රශ්නය දනීද කවරෙක් මා විසින් අසනලද ඒ ප්රශ්නය විසඳන්ට සමර්ථ වේදැයි විචාළේය.
1122. “නිදි දුරු කරන්නවුන් අතුරෙහි මම සයනය කරන්නෙමි. සයනය කරන්නවුන් අතුරෙහි මම නිදි දුරු කෙරෙමි. මම මේ ප්රශ්නය දනිමි. මම තට එය ප්‍රකාශ කරන්ට පොහොසත්වෙමි.
1123. “කෙසේනම් තොප නිදි දුරු කරන්නවුන් අතුරෙහි නිදීම් කෙළෙහිද, කෙසේ නිදන්නවුන් අතුරෙහි නිදි දුරු කෙළෙහිද, කෙසේ මේ ප්රශ්නය දන්නෙහිද, මා විසින් අසන ලද ප්රශ්නය කෙසේ කියන්ට පොහොසත් වෙහිද,
1124. “යම් කෙනෙක් ශීල සංයමය (සන්සුන්කම) කියාද, ඉන්ද්රිය දමනය (හික්මවීම) කියාද, ධර්මය නොදන්නාහුද, ඒ සත්වයන් ක්ලේශ නිද්‍රාවෙන් නිදන කල්හි දේවතාවෙනි, මම අප්‍රමාද වශයෙන් නොනිදුවෙමි.
1125. “දේවතාවෙනි යම් ක්ෂීණාශ්රව තෙර කෙනෙකුන්ගේ රාගයද ද්වේෂයද අවිද්‍යාවද යන මොහු ප්‍රහීණ වූවාහුද, ඒ ආර්යයන් නොනිදන කල්හි මම නිදීම කෙළේ වෙමි.
1126. “මෙසේ මම නිදි දුරු කරන්නවුන් අතුරෙහි නිදන්නේ වෙමි. මෙසේ නිදන්නවුන් අතුරෙහි නිදි දුරු කරන්නේ වෙමි මෙසේ මේ ප්රශ්නය දනිමි. මෙසේ තව ප්‍රකාශ කරන්ට හැකිවෙමි.
1127. “යහපත්කොට නොනිදන්නවුන් අතුරෙහි නිදන්නෙහිය. යහපත්කොට නිදන්නවුන් අතුරෙහි නොනිදන්නෙහි, යහපත්කොට මේ ප්රශ්නය දන්නෙහිය. යහපත්කොට මා විසින් අසනලද ප්‍රශ්න විසඳන්ට සමර්ථ වෙහියයි” ප්‍රශංසා කෙළේය.
9. ජාගරජාතකං.