936. “අභිනවාකාරවූ දානය දෙනු ලැබෙයි. මේ අපගේ බත් ඔරුව සුදු බතින් පිරුණීය. අපගේ ස්වාමි දුවද සිටියාය. ඈ පමණක් නොව මල පුඩුගත් අත් ඇති බොහෝ දෙනා සිටියාහ. එසේ හෙයින් බත් කන්නට මට නොවැටහේ.
937. “තුණ්ඩිලය, ත්‍රස්ත වෙහි, භ්‍රමනය වෙහි, පිහිටක් කැමැත්තෙහි අසරණ වූයේ වෙහිය. කොහි යන්නෙහිද, නිරුත්සාහීව අනුභව කරව, මාංශ පිණිසම අපි පෝෂණය කරණු ලබමු.
938. “මඩ රහිතවූ විලට බසුව, සියලු ඩහදිය මල දුරු කරව, යමෙකුගේ ගන්ධය කිසිකලෙකත් නොසිඳේද, එබඳු අළුත්වූ විලෙපනය ගණුවයි” කීයේය.
939. “මඩ නැති විල කවරේද? ඩහදිය මලයයි කුමකට කියනු ලැබේද, අළුත්වූ විලවුන් නම් කවරේද? කවරෙකුගේ ගන්ධය කිසිකලෙක්හි නොසිඳේද?
940. “පඤ්ච ශීලාදීවූ ධර්මයතෙම රාගාදී මඩ රහිත හෙයින් මඩ නැති විලය පාපය ඩහදිය මලයයි කියනු ලැබේ. ශීලයද අළුත්වූ විලවුන් හා සමවේ. ඒ සීලයාගේ ගන්ධය කිසිකලෙකත් නොසිඳෙයි.
941. “අනුන්ගේ සිරුරු නසන්නාවූ අඥානයෝ සතුන් නැසීමෙහි සතුටු වෙත්. සිරුරු දරන්නාහු නොම සතුටු වෙත්. ගුණෙන් පිරුණාවූ පූර්ණ චන්ද්‍රයා යුක්ත දිනයෙහි අප වැන්නෝ සතුටු වන්නාහුම ජීවිතය හරිත්.”
3. තුණ්ඩිලජාතකං.
942. “එම්බා යහලුව, දික්වූ චක්ෂුස් නම්වූ නෙත්‍ර ඇති ඇටම සිවිය කොට ඇති දියෙහි වාසය කරන්නාවූ රෝම නැති නල සංඛ්‍යාත ශෘංගයන් ඇති හෙයින් සිංගී මිග නම්වූ කකුළුවෙකි. ඔහු විසින් මඩනා ලද්දේ බැගෑපත්ව හඬමි. කිම මා හැරයෙහිද,
943. “යහළුවූ ප්‍රශ්වාස කරන්නාවූ ඒ සර්පතෙම යහළුවූ කපුටුවා රක්නේ මහත්වූ පෙනයෙන් යුක්තව කකුළුවා වෙත පැමිණියේය. කකුළුතෙම ඒ සර්පයාද වම් නලින් අල්වා ගත්තේය.
944. “කකුළුතෙමේ ආහාර පිණිස කැමතිවූයේ කපුටුවා නොගන්නේය. කෘෂ්ණ සර්පයාද නොගන්නේය. දික්වූ නෙත්‍ර සංඛ්‍යාත ඇස් ඇත්ත, තා විචාරමි. එසේ ඇතිකල්හි කවර හේතුවකින් තා විසින් අපි දෙදෙන ගන්නා ලද්දෝ වෙමුද,
945. “මේ පුරුෂතෙම මට වැඩ කැමත්තේය. හෙතෙම මා ගෙණ දියට පමුණුවයි. ඔහු මළ කල්හි මට බොහෝවූ දුක් වන්නේය. මමද මෙතෙමේද යන දෙදෙනම ජීවත් නොවෙමු.
946. “ඉතා වැඩුනු සිරුරු ඇති මධුරවූද මහත්වූද මොළොක්වූද මස් ඇති මාද දැක සියලුදෙනා හිංසා කරන්නටම කැමැතිවන්නේය. කවුඩෝද මා දැක හිංසා කරන්නාහුම යයි” කීයේය.
947. “ඉදින් ඔහු හේතුකොටගෙණ අප දෙදෙන ගන්නා ලද්දෙමු නම් පුරුෂතෙමේ නැඟී සිටීවා. විෂය උරා ගණිමි. විෂය මිනිසා දැඩිකොට ගණීද, ඉන් පළමු මාද කවුඩුවාද වහා මුදව.
948. “පළමුකොට සර්පයා මුදමි. කවුඩුවා නොහරිමි. කුමක් හෙයින්ද යත්, කවුඩුවා වනාහි තව ඇපවන්නේය. යම්සේ සර්පයා හැරියෙම්ද, එපරිද්දෙන් කවුඩුවාද සුවපත්වූ නිරෝගවූ පුරුෂයා දැක මුදා හරින්නෙමියි” කීයේය.
949. එකල්හි කපුටුවා දේවදත්ත විය. මාරයා වනාහි කෘෂ්ණ සර්පයා විය. කකුළුවා ආනන්ද ස්ථවිරයන් විය. එකල්හි බ්‍රාහ්මණයා වූයේ මම වෙමි.
4. සුවණ්ණකක්කටජාතකං.