930. “රළු නොවූ සිළුටුවූ කරගලෙහි ශුද්ධ කරණ ලද්දාවූ යහපත් මලින් යුක්තවූ සියුම්වූ තියුණුවූ අගද ඇති ඉඳිකටුව මිළදී ගන්ට කවරෙක් කැමැත්තේද,
931. “යහපත් කොට මදිනා ලද්දාවූද යහපත් මළ ඇත්තා වූද පිළිවෙලින් මනාව මට කරණ ලද්දාවූද ගටනා කල්හි ඝනවූ කිණිහිරි පලාගෙණ ඇතුළට වදනාවූද තදවූ ඉඳිකටුව මිළ දී ගන්ට කවරෙක් කැමැත්තේද,
932. “දැන් බොහෝ ඉඳිකටුද බිලී කටුද මේ කඹුරු ගමින් බැහැරට යන්නාහ. කඹුරු ගමෙහි ඉඳිකටු විකුණන්ට මේ කවරෙක් කැමති වේද,
933. “මෙයින් නොයෙක් ආයුධයෝද බැහැරට යෙත්. නානාප්‍රකාරවූ බොහෝවූ කර්මාන්තයෝද වෙත්. මේ කඹුරු ගමෙහි ඉඳිකටු විකුණන්ට මේ කවරෙක් සුදුසුවේද,
934. “දන්නාවූ පුරුෂයා විසින් ඉඳිකටුව කුඹුරු ගමෙහි විකිණිය යුතුය. කුමක් හෙයින්ද යත්? මනාව කරණලද නොමනාව කරණලද කර්මාන්තය ශිල්පාචාරීහුම දනිත්.
935. “සොඳුර, තීගේ පියතෙමේ මා විසින් කරණලද මේ ඉඳිකටුව හැඳින්නේවී නම් තී ලවාද මා පවරන්නේය. යම් බඳුවූ අනික් ධනයකුත් ගෙයි ඇද්ද, ඉනිදු පවරන්නේයයි” කීයේය.
2. සූචිජාතකං.
936. “අභිනවාකාරවූ දානය දෙනු ලැබෙයි. මේ අපගේ බත් ඔරුව සුදු බතින් පිරුණීය. අපගේ ස්වාමි දුවද සිටියාය. ඈ පමණක් නොව මල පුඩුගත් අත් ඇති බොහෝ දෙනා සිටියාහ. එසේ හෙයින් බත් කන්නට මට නොවැටහේ.
937. “තුණ්ඩිලය, ත්‍රස්ත වෙහි, භ්‍රමනය වෙහි, පිහිටක් කැමැත්තෙහි අසරණ වූයේ වෙහිය. කොහි යන්නෙහිද, නිරුත්සාහීව අනුභව කරව, මාංශ පිණිසම අපි පෝෂණය කරණු ලබමු.
938. “මඩ රහිතවූ විලට බසුව, සියලු ඩහදිය මල දුරු කරව, යමෙකුගේ ගන්ධය කිසිකලෙකත් නොසිඳේද, එබඳු අළුත්වූ විලෙපනය ගණුවයි” කීයේය.
939. “මඩ නැති විල කවරේද? ඩහදිය මලයයි කුමකට කියනු ලැබේද, අළුත්වූ විලවුන් නම් කවරේද? කවරෙකුගේ ගන්ධය කිසිකලෙක්හි නොසිඳේද?
940. “පඤ්ච ශීලාදීවූ ධර්මයතෙම රාගාදී මඩ රහිත හෙයින් මඩ නැති විලය පාපය ඩහදිය මලයයි කියනු ලැබේ. ශීලයද අළුත්වූ විලවුන් හා සමවේ. ඒ සීලයාගේ ගන්ධය කිසිකලෙකත් නොසිඳෙයි.
941. “අනුන්ගේ සිරුරු නසන්නාවූ අඥානයෝ සතුන් නැසීමෙහි සතුටු වෙත්. සිරුරු දරන්නාහු නොම සතුටු වෙත්. ගුණෙන් පිරුණාවූ පූර්ණ චන්ද්‍රයා යුක්ත දිනයෙහි අප වැන්නෝ සතුටු වන්නාහුම ජීවිතය හරිත්.”
3. තුණ්ඩිලජාතකං.