835. “බමුණ, සියලු භාණ්ඩය ගෙණ පරතෙරට පැමිණියේ වෙහි. වහාම නැවත එව. දැන් මේ නදියෙන් මාද වහා එතෙර කරව.
836. “පින්වතිය, සංසර්ගයක් නොකළාවූ අභිනවවූ මා දිගු කලක් කරණලද සංසර්ග ඇති, ස්ථිරවූ (ඒ ස්වාමියා කෙරෙන්) පරිවර්තනය කෙළෙහි නම් පින්වතිය, තී මා කෙරෙනුදු අනිකෙකු පෙරළා ගන්නේය. එහෙයින් මෙයින් ඉතා දුරකට මම යන්නෙමි.
837. “තුවරගස් ලැහැබෙහි මේ කවර නම් තැනැත්තියක් මහසිනා කෙරේද, නෘත්යයක් හෝ ගීතයක් හෝ මොනවට පවත්වන ලද කුලුතාලමක් හෝ මෙහි නැත. සුන්දරවූ කළවා ඇති ශොභනවූ තැනැත්තිය, හැඬිය යුතු කාලයෙහි කුමක් හෙයින් මහසිනා කෙරෙහිද,
838. “අඥානවූ නුවණනැත්තාවූ ජම්බුකය. තෝ ප්රඥා නැත්තෙහි වී. මත්ස්යයාද මස්පිඩද යන දෙකින් පිරිහුනි. මා මෙන් සිතන්නෙහි.
839. “අනුන්ගේ වරද දැකීමට පහසුවේ. තමාගේ වරද වනාහි දක්නට නොහැක්කේය. එහෙයින් නුඹද, සැමියාද සොර සැමියාද යන දෙදෙනාගෙන් පිරිහුනි. මා මෙන් සිතන්නෙහිය.
840. “මෘගරාජවූ ජම්බුකය, යම්සේ කීයෙහිද, මෙය මෙසේමය. ඒ මම ඒකාන්තයෙන් මෙයින් ගොස් අනික් හිමියෙකු ලැබ වසඟ බවට අනුව යන්නියක් වන්නෙමි.
841. “යමෙක් මැටි තළියක් සොරාගණීද, හෙතෙම බොහෝ තළියකුදු සොරා ගන්නේය. තී විසින් පාපය කරණ ලද්දේමය. නැවතද මෙසේ කරන්නෙහියයි” කීයේය.
4. චූළධනුග්ගහජාතකං චතුත්ථං.
842. “දැන් වනාහි පරවි තෙමේ නික්ම ගියේය. එහෙයින් සුවපත් වූයේ නිරෝගි වූයේ සතුරු නමැති කටු රහිතවූයේ වෙමි. දැන් මාගේ සිතට සතුටක් කරන්නෙමි. එසේමැයි මේ මාංශයද අවශෙෂ රසයද මට බල කරයි.
843. “මේඝය, මුත්තනුවන් කොට ඇති සෙරවූ සිඛා ඇති මේ කෙකණි කවරක්ද, කෙකින්න මෑතට නැගී එව, මාගේ යහළුවූ කවුඩා චණ්ඩවේ.
844. “අරක්කැමි පුත්රයා විසින් සිඳිනාලද පියාපත් ඇති පිටි කළලින් මැඬීමෙන් ගැල්වූ මෙබඳු වූ මා දැක තාගේ සිනාසීමෙන් කම් නැත.
845. “මනාකොට නගන ලද්දේ මනාකොට විලවුන් ගල්වන ලද්දේ වෙහිය. ආහාරපානයෙන් සන්තර්පණය කරණ ලද්දෙහිය. තාගේ ග්රීවයෙහි වෛඩූර්යය මාණික්යයෙක. එහෙයින් බරණැස් නුවරට ගියේද,
846. “තාගේ මිත්රයෙක් හෝ අමිත්රයෙක් හෝ බරණැස් නුවරට නොයේවා. කුමක්හෙයින්දයත්, එහිලා පියාපත් සිඳ දමා බොටුවෙහි කැබිලිත්ත බඳිත්.
847. “යහළුව, නැවතද මෙබඳු දුකකට පැමිණෙන්නෙහිය තාගේ ස්වභාවය වනාහි එබඳුමය. මිනිසුන් අයත්වූ සම්පත්තීහු පක්ෂියෙකු විසින් සුවසේ අනුභව කළහැකි නොවෙත්යයි” කීයේය.
5. කපොතජාතකං පඤ්චමං.
අඩ්ඪවග්ගො තතියො.
එහි උද්දානය:
වණ්ණාරොහ, සීල, හිරි, ලභත, සුමුඛ, ආමිස, සාළිය, මිත්තවර, චක්ක, පලාස ද, සරාජ, සත, යව, බාල, කපොතක, පණ්ණ, රස ද (යන පදවලින් මේ ජාතකයෝ කියවුනාහුය).
පඤ්චකනිපාතං නිට්ඨිතං.
එහි වර්ග උද්දානය:
ජින, වණ්ණ, අසම, (යනාදී) වර්ග පස මැනවින් දෙසන ලද්දේය. මහර්ෂීන් වහන්සේ විසින් අර්ථවත් වූ සුව්යඤ්ජන වූ ගාථාවෝ වදාරණ ලද්දාහ.