842. “දැන් වනාහි පරවි තෙමේ නික්ම ගියේය. එහෙයින් සුවපත් වූයේ නිරෝගි වූයේ සතුරු නමැති කටු රහිතවූයේ වෙමි. දැන් මාගේ සිතට සතුටක් කරන්නෙමි. එසේමැයි මේ මාංශයද අවශෙෂ රසයද මට බල කරයි.
843. “මේඝය, මුත්තනුවන් කොට ඇති සෙරවූ සිඛා ඇති මේ කෙකණි කවරක්ද, කෙකින්න මෑතට නැගී එව, මාගේ යහළුවූ කවුඩා චණ්ඩවේ.
844. “අරක්කැමි පුත්‍රයා විසින් සිඳිනාලද පියාපත් ඇති පිටි කළලින් මැඬීමෙන් ගැල්වූ මෙබඳු වූ මා දැක තාගේ සිනාසීමෙන් කම් නැත.
845. “මනාකොට නගන ලද්දේ මනාකොට විලවුන් ගල්වන ලද්දේ වෙහිය. ආහාරපානයෙන් සන්තර්පණය කරණ ලද්දෙහිය. තාගේ ග්‍රීවයෙහි වෛඩූර්යය මාණික්යයෙක. එහෙයින් බරණැස් නුවරට ගියේද,
846. “තාගේ මිත්‍රයෙක් හෝ අමිත්‍රයෙක් හෝ බරණැස් නුවරට නොයේවා. කුමක්හෙයින්දයත්, එහිලා පියාපත් සිඳ දමා බොටුවෙහි කැබිලිත්ත බඳිත්.
847. “යහළුව, නැවතද මෙබඳු දුකකට පැමිණෙන්නෙහිය තාගේ ස්වභාවය වනාහි එබඳුමය. මිනිසුන් අයත්වූ සම්පත්තීහු පක්ෂියෙකු විසින් සුවසේ අනුභව කළහැකි නොවෙත්යයි” කීයේය.
5. කපොතජාතකං පඤ්චමං.
අඩ්ඪවග්ගො තතියො.
එහි උද්දානය:
වණ්ණාරොහ, සීල, හිරි, ලභත, සුමුඛ, ආමිස, සාළිය, මිත්තවර, චක්ක, පලාස ද, සරාජ, සත, යව, බාල, කපොතක, පණ්ණ, රස ද (යන පදවලින් මේ ජාතකයෝ කියවුනාහුය).
පඤ්චකනිපාතං නිට්ඨිතං.
එහි වර්ග උද්දානය:
ජින, වණ්ණ, අසම, (යනාදී) වර්ග පස මැනවින් දෙසන ලද්දේය. මහර්ෂීන් වහන්සේ විසින් අර්ථවත් වූ සුව්යඤ්ජන වූ ගාථාවෝ වදාරණ ලද්දාහ.
6. ඡක්ක නිපාතය
1. අවාරිය වර්ගය
1. “පෘථිවීශ්වරයාණෙනි, නොකිපුන මැනවි. රාජොත්තමය, නොකිපෙනු මැනවි. කිපුනහුට නැවත නොකිපෙන්නාවූ රජතෙම රටවැස්සා විසින් පුදනු ලද්දෙක් වේ.
2. “ගමෙහි හෝ (නොහොත්) වනයෙහි හෝ වලතැන්හි හෝ (නොහොත්) ගොඩබිමෙහි හෝ සියලු තන්හි නුඹ වහන්සේට අනුශාසනා කරමි. රාජොත්තමය, නොකිපුණ මැනව.
3. “ගංගාවෙහි අවරියපිතා නම් වූ නැවියෙක්වී. හෙතෙම පළමුකොට මගී ජනයා එතෙර කොට පසුව වැටුප් ඉල්වයි. ඒ කාරණයෙන් ඔහුගේ දබරය වේ. භොගයෙන්ද නොවැඬේ.
4. “දරුව, නාවිකය, මෙතෙර සිටියාවූ එතෙර නොවූම ජනයාගෙන් වැටුප් ඉල්වව. පරතෙරට ගියහුගේ සිත අනිකෙක්මැයි. (වැටුප් නොදී යනු කැමතිවෙයි.) එතෙරවීම සොයන්නහුගේ සිත අනිකක් වේ. (හෙවත්) වැඩියකුත් දී යනු කැමතිවේ.
5. “ගමෙහි හෝ (නොහොත්) වෙනෙහි හෝ වලෙහි හෝ (නොහොත්) ගොඩෙහි හෝ සියලු තන්හි තොපට අනුශාසන කරමි. නාවිකය, නොකිපෙව,
6. “යම්බඳු අනුශාසනාවකින්ම රජතෙම ගම්වරක් තපස්වීහට දුන්නේද, ඒ අනුශාසනාවෙන්ම නාවිකතෙම තපස්වීහුගේ මුඛයට පහර දුන්නේය.
7. “බත්තළිය බිඳිනාලදී. භාර්යාතොමෝ නසනලදී. දරුගර්භයද, භූමියෙහි හෙළනලදී. පාගාපසුකොට ගියාවූ ස්වර්ණයෙන් මුවෙකු මෙන් ඒ අවවාදයෙන් ඒ අඥානවූ තොටියා තමහට අභිවෘද්ධියක් නිපදවන්ට නොහැකිවූයේයයි” කීයේය.
1. අවාරිය ජාතකය.
8. “දරුව, සේතකේතු නම් තැනැත්තෙනි, නොකිපෙව, ක්‍රොධ කිරිම යහපත් නොවේ. තා විසිනුදු නොදක්නා ලද්දද, නොඅසනලද දෙයද බොහෝ වෙයි. මවු පිය දෙදෙන දරුවන්ට පූර්වදිශා බව වේ. ආචාර්යයෝ දක්ෂිණෙය හෙයින් දිශාවන්ගෙන් ප්රශස්තවූ දක්ෂිණ දිශාවයයි බුද්ධාදී ආර්යයෝ කියත්.
9. “සේතකේතුව, ආහාර දෙන්නාවූ පාන වර්ග දෙන්නාවූ වස්ත්‍ර දෙන්නාවූ දන් පිණිස කැඳවන්නාවූ යම් ගෘහස්ථ කෙනෙක් ඇද්ද? එයද දිශාවකැයි බුද්ධාදීහු කියති. (නොහොත්) ආහාර දෙන්නාවූ පානවර්ග හා වස්ත්‍ර දෙන්නාවූ යම් ගෘහස්ථයෝ වෙද්ද? ඔවුන්ට සදෙව් ලොව සම්පත් දීමෙන් මතු මතු කැඳවන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ද බුද්ධාදීන් උපරිම දිශායයි කියති. යම් දිශාවකට පැමිණ දුක්පත් ජනයෝ සුවපත් වෙද්ද, මේ දිශාතොමෝ උතුම්වේ.
10. “රළුවූ අඳුම්දිවි සම් අඳින්නාවූ ජටාමඩුළු බැන්දාවූ මළ සහිත දත් ඇත්තාවූ කිළුටුවූ ස්වභාවය ඇත්තාවූ යම් මේ තපස්වී කෙනෙක් ඇද්ද, ඔහු මන්ත්‍ර ජපකෙරෙද්ද, කිමෙක්ද, මෙය දන්නාවූ මොව්හු අපායෙන් මිදුනාහු වෙද්ද?