44. “දෙවයෙනි, මහා ප්‍රතාප නම් රජුට අපරාධ කළ තැනැත්තී නසන ලද වැඩ ඇත්තී මම්මය. එහෙයින් මේ ධර්මපාල කුමරු මුදාවා, මාගේ හස්තයන් කපව.”
45. “දෙවයෙනි, මහා ප්‍රතාප නම්වූ රජුට අපරාධ කළාවූ නසන ලද අභිවෘද්ධිය ඇත්තී මම්මය. එසේ හෙයින් මේ ධර්මපාල කුමරු මුදවා ඉදින් කැමැත්තෙහි නම් මාගේ පාදයන් කපව.”
46. “දෙවයෙනි, මහා ප්‍රතාප නම්වූ රජුට අපරාධ කළාවූ නසන ලද අර්ථ ඇත්තී මම්මය. එසේ හෙයින් මේ ධර්මපාල කුමරු හරීවා, ඉදින් කැමැත්තෙහි නම් මාගේ හිස කපව.”
47. “රජ්ජුරුවන්ට උරෙහි ජාතවූ පුත්‍රයා නොමරවයි යම් කෙනෙක් නොකියද්ද, එසේහෙයින් මේ රජුගේ මිත්‍රයෝද අමාත්‍යයෝද, යහළුවෝද, නැත්තාහයි සිතමි.”
48. “රජ්ජුරුවන්ට තමහට දාවූ පුත්‍රයා නොමරවයි යම් කෙනෙක් නොකියත්ද, එසේහෙයින් මේ රජහුගේ මිත්‍රයෝද, නෑයෝද, යහළුවෝද, නැත්තාහයි සිතමි.”
49. “මුළු පොළොවට හිමිවූ ධර්මපාල කුමරුන්ගේ සඳුන් කල්ක ගැල්වූ අත් දෙක කපනු ලබත්. දෙවයෙනි, මාගේ ප්‍රාණයෝ නිරුද්ධ වෙත්යයි” කීය.
චූළධම්මපාලජාතකං අට්ඨමං.
50. “භවත් මෘගය, රන්වන් පා ඇත්ත, වීර්ය කරව. භවත් මහා මෘගය, වීර්ය කරව. වරපටින් කළ පුඩුව සිඳව. මම තනිව වනයෙහි නො ඇලෙන්නෙමි.”
51. “වීර්ය කරමි. පුඩුව සිඳින්නට නොහැක්කෙමි. ඉතා වේගයෙන් බිමට ගසමි. මාගේ පාදය හාත්පසින් කැපෙයි.”
52. “වැද්දානෙනි, මස් තබන පිණිස කොළ අතුරව ආයුධය මෑතට ගණුව. පළමුකොට මා මරා ගෙණ මහා මෘගයා පසුව මරව.”
53. “මුවදෙනක මනුෂ්‍ය භාෂාව කියන්නියක් ම විසින් නොඅසන ලදී. දක්නා ලද්දී හෝ නොවෙයි සොඳුර තීද සුවපත්වෙව. තීගේ ස්වාමිවූ මේ මහා මෘගතෙමේද සුවපත් වේවා.”
54. “වැද්දානෙනි, පාශයෙන් මිදුනාවූ මහා මෘගයා දැක අද යම්සේ මම සතුටු වෙම්ද, එපරිද්දෙන් සියලු නෑයන් සමග ඔබද බොහෝ කලක් සතුටු වෙවයි” කීයේය.
සුවණ්ණමිගජාතකං නවමං.
55. “තම්බ නම් රජ, මිදෙල්ල මල් වල සුවඳ හමයි කුඩා සාගරයද ඝොෂා ඇත්තේය. මෙයින් වනාහි සුසන්ධි නම් බිසොව දුර පෙදෙසෙක්හි වේ. එසේහෙයින් කාමයෝ නොහොත් තාම්බ්‍රයා විසින් කැමති වූවෝ මා විදිත්.”
56. “සාගරය කෙසේ නම් එතෙර වීද? සේරුම නම් දිවයින කෙසේ නම් දුටුවේද? සග්ගය, ඇගේද තාගේද සමාගමය කෙසේ නම් වූයේද?”
57. “භරුකච්ඡා නම් පටුණු ගමින් පිටත්ව යන්නාවූ ධන සොයන්නාවූ වෙළෙඳුන්ගේ නැව මෝරුන් විසින් බිඳින ලද මම පුවරු කඩකින් එතෙරට ගියෙමි.”
58. “නිරන්තරයෙන් සඳුන් සුවඳ ඇති ඒ භද්‍රාතොමෝ සිළුටුවූ මෘදු වචනයෙන් මා ඖරස පුත්‍රයෙකු මවක මෙන් ඇකයෙන් හෙවත් බාහු යුග්මයෙන් ගොඩ ගත්තේය.”
59. “තම්බය, ඒ චිත්‍රලොචනාතොමෝ මා ආහාරයෙන්ද පානයෙන්ද, වස්ත්‍රයෙන්ද, ශයනයෙන්ද සතුටු කළාය. හුදෙක් ආහාරාදියෙන් පමණක් නොව තොමෝ මා අභිරමණය කරන්නී පිණවීයයි” මෙසේ දනුව.
සුයොනන්දීජාතකං දසමං.
මණිකුණ්ඩලවග්ගො පඨමො.
එහි උද්දානය:
ජිනවර ද, හරිත තිණ ද, භින්න ප්ලව ද, උරග ද, ඝත ද, දරිය ද, කුඤ්ජර ද, භූනහතා ද, මිගපුත්ත ද, සග්ගවර යන මොහු දස දෙනෙකි.