50. “භවත් මෘගය, රන්වන් පා ඇත්ත, වීර්ය කරව. භවත් මහා මෘගය, වීර්ය කරව. වරපටින් කළ පුඩුව සිඳව. මම තනිව වනයෙහි නො ඇලෙන්නෙමි.”
51. “වීර්ය කරමි. පුඩුව සිඳින්නට නොහැක්කෙමි. ඉතා වේගයෙන් බිමට ගසමි. මාගේ පාදය හාත්පසින් කැපෙයි.”
52. “වැද්දානෙනි, මස් තබන පිණිස කොළ අතුරව ආයුධය මෑතට ගණුව. පළමුකොට මා මරා ගෙණ මහා මෘගයා පසුව මරව.”
53. “මුවදෙනක මනුෂ්‍ය භාෂාව කියන්නියක් ම විසින් නොඅසන ලදී. දක්නා ලද්දී හෝ නොවෙයි සොඳුර තීද සුවපත්වෙව. තීගේ ස්වාමිවූ මේ මහා මෘගතෙමේද සුවපත් වේවා.”
54. “වැද්දානෙනි, පාශයෙන් මිදුනාවූ මහා මෘගයා දැක අද යම්සේ මම සතුටු වෙම්ද, එපරිද්දෙන් සියලු නෑයන් සමග ඔබද බොහෝ කලක් සතුටු වෙවයි” කීයේය.
සුවණ්ණමිගජාතකං නවමං.
55. “තම්බ නම් රජ, මිදෙල්ල මල් වල සුවඳ හමයි කුඩා සාගරයද ඝොෂා ඇත්තේය. මෙයින් වනාහි සුසන්ධි නම් බිසොව දුර පෙදෙසෙක්හි වේ. එසේහෙයින් කාමයෝ නොහොත් තාම්බ්‍රයා විසින් කැමති වූවෝ මා විදිත්.”
56. “සාගරය කෙසේ නම් එතෙර වීද? සේරුම නම් දිවයින කෙසේ නම් දුටුවේද? සග්ගය, ඇගේද තාගේද සමාගමය කෙසේ නම් වූයේද?”
57. “භරුකච්ඡා නම් පටුණු ගමින් පිටත්ව යන්නාවූ ධන සොයන්නාවූ වෙළෙඳුන්ගේ නැව මෝරුන් විසින් බිඳින ලද මම පුවරු කඩකින් එතෙරට ගියෙමි.”
58. “නිරන්තරයෙන් සඳුන් සුවඳ ඇති ඒ භද්‍රාතොමෝ සිළුටුවූ මෘදු වචනයෙන් මා ඖරස පුත්‍රයෙකු මවක මෙන් ඇකයෙන් හෙවත් බාහු යුග්මයෙන් ගොඩ ගත්තේය.”
59. “තම්බය, ඒ චිත්‍රලොචනාතොමෝ මා ආහාරයෙන්ද පානයෙන්ද, වස්ත්‍රයෙන්ද, ශයනයෙන්ද සතුටු කළාය. හුදෙක් ආහාරාදියෙන් පමණක් නොව තොමෝ මා අභිරමණය කරන්නී පිණවීයයි” මෙසේ දනුව.
සුයොනන්දීජාතකං දසමං.
මණිකුණ්ඩලවග්ගො පඨමො.
එහි උද්දානය:
ජිනවර ද, හරිත තිණ ද, භින්න ප්ලව ද, උරග ද, ඝත ද, දරිය ද, කුඤ්ජර ද, භූනහතා ද, මිගපුත්ත ද, සග්ගවර යන මොහු දස දෙනෙකි.
2. වණ්ණාරොහ වර්ගය
767. “වර්ණයෙන්ද ආරොහයෙන්ද උතුම් ජාතියෙන්ද කාය බලයෙන් හා වීර්යයෙන්ද යන මෙයින් සුබාහු නම් ව්‍යාඝ්‍රතෙමේ මට වඩා උතුම් නොවේයයි ශොභනවු දළ ඇත්ත මෙසේ කීයෙහි දැයි විචාළේය.
768. “වර්ණයෙන්ද ආරොහයෙන්ද ජාතියෙන්ද කාය බලයෙන්ද නිෂ්ක්‍රමණ වීර්යයෙන්ද මේ සුදාඨ නම් මෘග රාජයා මට වඩා උතුම් නොවේයයි ශොභනවූ බාහු ඇත්ත, මෙසේ තෝ කීයෙහි සැබෑදැයි විචාළේය.
769. “සුබාහු නම් යහළුව, මෙසේම වසන්නාවූ මට ද්‍රොහ කෙරෙහිද, දැන් මම තා සමග එක්ව විසීමට නො කැමැත්තෙමියි.
770. “යමෙක් අනුන්ගේ මිථ්‍යාවචනයන් සැබෑ මෙන් අදහන්නේද, හෙතෙමේ මිත්‍රයා කෙරෙහි වහා බිඳෙන්නේය. බොහෝවූ වෛරයද රැස් කරන්නේයි.
771. “යමෙක් හැම කල්හි අප්‍රමාද වූයේ මිත්‍රයාට විශ්වාසය නොදේද බිඳීමෙහි සැක ඇත්තේ වේද, සිදුරුම සොයන්නේ වේද හෙතෙමේ මිත්‍රයා නොවේ. යම් මිත්‍රයෙකු කෙරෙහි ලයෙහි ජාත පුත්‍රයෙකු මෙන් පවතීද යම් මිත්‍රයෙක් අනුන් විසින් බිඳිය නොහැකි වේද, හෙතෙමේ එකාන්තයෙන් මිත්‍රයා වේයයි” කීයේය.
1. වණ්ණාරොහජාතකං පඨමං.
772. “ශීලය උතුම්වේ. ශ්‍රැතයද හෙවත් උගත්කමද උතුම්යයි මෙසේ මට සැකයක් විය. ශ්‍රැතයට වඩා ශීලයම උතුම්වේයයි කීමෙහි මට සැකයක් නැත.
773. “ක්ෂත්‍රියාදී ජාතියද රූප වර්ණයද හිස්ය. ශීලයම උතුම්වේමැයි ඒ එසේමැයි ශීලයෙන් යුක්ත නොවන්නාහට ශ්‍රැතයෙන් ප්‍රයෝජනයක් නැත.
774. “අධර්මයෙහි පිහිටියාවූ ක්ෂත්‍රිය තෙමේද අධර්මයන් ඇසුරු කළාවූ වෛශ්‍ය තෙමේද යන ඒ දෙදෙනා දිව්‍ය මනුෂ්‍ය යන දෙලොව හැර අපායෙහි උපදිත්.
775. “ක්ෂත්‍රියයෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය, ශුද්‍රයෝය, චණ්ඩාලයෝය, බඹුරෝය යන මොහු මෙලොව දස කුසල ධර්මයෙහි හැසිර දෙව්ලොවදී සමවූවාහු වෙත්.
776. “වේදයෝද පරලොව පිණිස නොවන්නාහ. ජාතියද පරලොව පිණිස නොවේ. නෑයෝද පරලොව පිණිස නොවන්නාහ. පිරිසිදුවූ ස්වකීය ශීලයම පරලොව සුව පිණිසද මෙලොව සුව පිණිසද වන්නේයි.”
2. සීලවීමංසජාතකං දුතියං.