“මිනිසුන්ගේ ඇල්ම කරන්නාවූ නොයෙක් සිතිවිලි ඇත්තාවූ නිග්‍රහකොට හික්මවිය නොහැක්කාවූ ස්ත්‍රීන් කෙරෙහි විශ්වාස නොකරන්නේය. ඉදින් සියලු ස්ත්‍රීහු තමන් විසින් අප්‍රිති කරවන්නාහු නමුදු තොටුපලවල් හා සමානවන්නාහ.
“කණ්ඩරීනම් රජු හා කින්නරා නම් බිසව යන දෙදෙනාට ඒකාන්තයෙන් යම් රාගයක්වීද, එය දැක සියලු ස්ත්‍රීහු ස්වකීය ගෘහයෙහි නො ඇලෙත් යයි දතයුතුයි. එසේමැයි ඒ කණ්ඩරීනම් රජුගේ භාර්යාතොමෝ පිළෙකුවූ අන් පුරුෂයෙකු දැක එබඳුවූ ඒ රජහු හැර (එකතුවූයේය.)
“අත්‍යන්තයෙන් කාමයට අනුව ගියාවූ බක නම් රජුගේද, පාවාරික නම් රජුගේද භාර්යාව තමාගේ වසඟයෙහි පවත්නහු (හෙවත්) කීකරු මෙහෙකරන්නෙකු සමග අනාචාරයෙහි හැසුරුනේය. ස්ත්‍රී නම් ස්වකීය පුරුෂයාගෙන් අන්‍යවූ කවරෙකු නමුත් ඉක්ම නොපවතියි.
“සියලු ලොවට අධිපතිවූ බ්‍රහ්මදත්ත නම් රජහුගේ පිංගියානි නම් කාමයන් ප්‍රාර්ථනා කරන්නාවූ ප්‍රියවූ භාර්යා තොමෝ කීකරුව මෙහෙ කරන්නෙකු සමග අනාචාර කෙළේය. ඕතොමෝ ඔහුද ඒ අගබිසෝ තනතුරදැයි යන දෙකටම නොපැමිණියේය. හෙවත් දෙකින්ම පිරිහුනේයයි” කීයේය.
1. කින්නරී ජාතකය.
“එම්බා ජලය, ජලයෙන් ගොඩට නැගෙන්නට ඒකාන්තයෙන් සමර්ථවීමි. දැන් මම නැවත තාගේ වසඟබවට නොයමි.
“මුහුදක් වැනිවූ ගංගාවගේ එතෙර යම් ගෙඩි වර්ග ඇද්ද, එයින් කම්නැත. මේ අඹවලටද, දඹවලටද, වැල, වරකාවලටද වඩා මාගේ දිඹුල්ඵල උතුම්වේ.
“යමෙක් වනාහි උපන්නාවූ අර්ථය වහාම දැන නොගණීද හෙතෙම සතුරන්ගේ වසඟයට පැමිණේ. පසුව තැවීමටද පැමිණේ.
“යමෙක් වනාහි උපන්නාවූ අර්ථය වහාම දැනගණීද හෙතෙම සතුරන්ගේ පීඩාවෙන් මිදෙන්නේය. පසුව තැවීමටද නොපැමිණෙන්නේයයි” කීයේය.
2. වානර ජාතකය.
“රජ, ඔබගේ ගෙහි නිරන්තරයෙන් සත්කාර කරණලද්දී, පුදනලද්දී විසුවෙමු. දැන් ඔබම (මා දරුවන් නොරැක්ම) කෙළෙහි එබැවින් මම යෙමි.
“යමෙක් ඒකාන්තයෙන් වරද අනුන් තමහට කළ කල්හි නැවත වරද තමා විසින් අනුන්ට කළ කල්හි එය දනීද, මෙසේ “ඒ වෛරය සංසිඳේ කොස්ළිහිණිය, මෙහි වසව. නොයව,
“රාජොත්තමය, අනුන් විසින් පුද්ගලයෙක්ද පෙළන ලද යමෙක් පීඩා කෙරේනම් ඔහුගේද මිත්‍රභාවය නැවත නොගැලපේ. මාගේ හෘදය මෙහි විසීමට නොඅනුදනියි.” එහෙයින් යන්නෙම්මය.
“අනුන් විසින් උපකාර කරණලද පුද්ගලයාගේද, උපකාර කරන්නාගේද, මිත්‍රභාවය නැවත ගැළපේ, එයද ප්‍රාඥයන්ගේය අඥානයන්ගේ නොවෙයි. කුන්තණිය මෙහි වාසය කරව, නොයවයි” කීයේය.
3. කුන්තිනී ජාතකය.
“යම් තැනැත්තියක් තාගේ අඹ සොරාගත්තීද, ඕතොමෝ යම්පුරුෂයෙක් බොරු කොල ගෙණ හිස නිල් කිරීමෙන් සරසාද, අඬුවෙන් සුදුකෙස් උදුරා වෙහෙසේද, එසේ වූවහුගේ වසඟබවට පැමිණේවා.
“යම් ස්ත්‍රියක් තොපගේ අඹ සොරාගත්තීද, ඕ තොමෝ උත්පත්තියෙන් විසි අවුරුද්දකට හෝ පස්විසි අවුරුද්දකට හෝ විසිනව අවුරුද්දකට හෝ පැමිණ එබඳු වයස් ඇත්තී, වල්ලභයෙකු ලබාවා.
“යම් ස්ත්‍රියක් තාගේ අඹ සොරා ගත්තීද, ඕතොමෝ අභිසාරිකාවූවා තනිව දික්වූ මග යේවා. සලකුණු කී ස්ථානයෙහි ස්වාමියා නොදකීවා.
“යම් ස්ත්‍රියක් තාගේ අඹ පැහැරගත්තීද, ඕතොමෝ මනාව හැඳි වස්ත්‍ර ඇත්තී පැළැඳි මල්දම් ඇත්තී ගැල්වූ සඳුන් කල්ක ඇත්තී සැරසුනී හුදකලාව යහනෙහි සයනය කෙරේවායි” කීයේය.
4. අම්බචොර ජාතකය.