“එම්බා ජලය, ජලයෙන් ගොඩට නැගෙන්නට ඒකාන්තයෙන් සමර්ථවීමි. දැන් මම නැවත තාගේ වසඟබවට නොයමි.
“මුහුදක් වැනිවූ ගංගාවගේ එතෙර යම් ගෙඩි වර්ග ඇද්ද, එයින් කම්නැත. මේ අඹවලටද, දඹවලටද, වැල, වරකාවලටද වඩා මාගේ දිඹුල්ඵල උතුම්වේ.
“යමෙක් වනාහි උපන්නාවූ අර්ථය වහාම දැන නොගණීද හෙතෙම සතුරන්ගේ වසඟයට පැමිණේ. පසුව තැවීමටද පැමිණේ.
“යමෙක් වනාහි උපන්නාවූ අර්ථය වහාම දැනගණීද හෙතෙම සතුරන්ගේ පීඩාවෙන් මිදෙන්නේය. පසුව තැවීමටද නොපැමිණෙන්නේයයි” කීයේය.
2. වානර ජාතකය.
“රජ, ඔබගේ ගෙහි නිරන්තරයෙන් සත්කාර කරණලද්දී, පුදනලද්දී විසුවෙමු. දැන් ඔබම (මා දරුවන් නොරැක්ම) කෙළෙහි එබැවින් මම යෙමි.
“යමෙක් ඒකාන්තයෙන් වරද අනුන් තමහට කළ කල්හි නැවත වරද තමා විසින් අනුන්ට කළ කල්හි එය දනීද, මෙසේ “ඒ වෛරය සංසිඳේ කොස්ළිහිණිය, මෙහි වසව. නොයව,
“රාජොත්තමය, අනුන් විසින් පුද්ගලයෙක්ද පෙළන ලද යමෙක් පීඩා කෙරේනම් ඔහුගේද මිත්‍රභාවය නැවත නොගැලපේ. මාගේ හෘදය මෙහි විසීමට නොඅනුදනියි.” එහෙයින් යන්නෙම්මය.
“අනුන් විසින් උපකාර කරණලද පුද්ගලයාගේද, උපකාර කරන්නාගේද, මිත්‍රභාවය නැවත ගැළපේ, එයද ප්‍රාඥයන්ගේය අඥානයන්ගේ නොවෙයි. කුන්තණිය මෙහි වාසය කරව, නොයවයි” කීයේය.
3. කුන්තිනී ජාතකය.
“යම් තැනැත්තියක් තාගේ අඹ සොරාගත්තීද, ඕතොමෝ යම්පුරුෂයෙක් බොරු කොල ගෙණ හිස නිල් කිරීමෙන් සරසාද, අඬුවෙන් සුදුකෙස් උදුරා වෙහෙසේද, එසේ වූවහුගේ වසඟබවට පැමිණේවා.
“යම් ස්ත්‍රියක් තොපගේ අඹ සොරාගත්තීද, ඕ තොමෝ උත්පත්තියෙන් විසි අවුරුද්දකට හෝ පස්විසි අවුරුද්දකට හෝ විසිනව අවුරුද්දකට හෝ පැමිණ එබඳු වයස් ඇත්තී, වල්ලභයෙකු ලබාවා.
“යම් ස්ත්‍රියක් තාගේ අඹ සොරා ගත්තීද, ඕතොමෝ අභිසාරිකාවූවා තනිව දික්වූ මග යේවා. සලකුණු කී ස්ථානයෙහි ස්වාමියා නොදකීවා.
“යම් ස්ත්‍රියක් තාගේ අඹ පැහැරගත්තීද, ඕතොමෝ මනාව හැඳි වස්ත්‍ර ඇත්තී පැළැඳි මල්දම් ඇත්තී ගැල්වූ සඳුන් කල්ක ඇත්තී සැරසුනී හුදකලාව යහනෙහි සයනය කෙරේවායි” කීයේය.
4. අම්බචොර ජාතකය.