නොවිසිර පවත්නා ස්වරයෙන් යුක්තවූ මනොඥවූ ශබ්ද ඇති ශබ්ද පවත්වන්නවුනගෙන් උතුම්වූයේ යම් ජම්බු ශාඛාවෙක්හි හුන්නේ මයුර පෝතකයකු මෙන් මේ කවරෙක් නම් නාද කෙරේද?
කුලපුත්‍රයාට ප්‍රශංසා කරන්නට කුලපුත්‍රයෙක්ම දනී. ව්‍යාඝ්‍ර පොතකයෙකු හා සමාන වර්ණ ඇත්තාවූ නුඹ යහළුව, බඩ පිරෙන තුරු දඹගෙඩි අනුභව කරව, තට දෙමි.
බොරු කියන්නාවූ එක්තැන්වූ ඔවුනොවුන් ප්‍රශංසා කරගන්නාවූ වමනය කළ ආහාරාදීන් කන්නාවූ කවුඩාද, කුණප අනුභව කරන්නාවූ හිවලාද යන දෙදෙනා ඒකාන්තයෙන් බොහෝ කලකින් දකුම්හයි’ කීයේය.
4. ජම්බුඛාදක ජාතකය.
මෘගරාජය, නුඹගේ කඳ වෘෂභ රාජයෙකුගේ කඳක් මෙන් වටය. ඇඟසෙලවීම සිංහයෙකුගේ මෙනි. තට නමස්කාර වේවා. කිසිවකුත් අපි ලබමු.
කුලපුත්‍රයෙකුට ප්‍රශංසා කරන්නට කුල පුත්‍රයෙක්ම දනී. මොණරෙකුට බඳු බෙල්ල ඇති කවුඩුව, මේ එරඬු ගසෙන් බැස මෙහි එව.
මෘගයන් අතුරෙන් හිවලා ලාමකවේ. පක්ෂීන් අතුරෙන් වනාහි කවුඩා හීනයෙක. ගස් අතුරෙන් එරඬුගස හීනය. මේ හීනයෝ තුන්දෙනෙක් එක්වූවාහුයි’ කීවේය.
5. අන්ත ජාතකය.
ලවණ ජලයෙහි හාත්පසින් දුවයි. මත්ස්‍යයන්ද, මෝරුන්ද, වළක්වයි, රැලෙහිද ගැටෙයි, මේ කවරෙක්ද?
සාගර නම්වූ ගංගාවන්ට ස්වාමිවූ සමුද්‍රය බොන්නට කැමැත්තෙමි. එසේ හෙයින් අනන්තපායී නම්වූ පක්ෂියාවෙමි. පිරවිය නොහැක්කාවූ තෘෂ්ණාවෙන් යුක්ත හෙයින් අතෘප්තය කියා දිශාවන්හි ප්‍රසිද්ධ වූයේ වෙමි.
ඒ මේ සාගරය තෙම දිය බස්නා වේලාවට බසී. වැඩෙන වේලාවට පිරේ. මේ සාගරයාගේ බීමෙන් අඩුවීමෙක් නොපෙනේ. එසේ හෙයින් සාගරය වනාහි බී අවසන් කරන්නට නුපුළුවන් වේයයි’ කීයේය.
6. සමුද්ද ජාතකය.
උස් තැන්හි යන්නාවූ පක්ෂිය, පක්ෂ පත්‍රයන් යාන කොට ඇත්තාවූ අහසෙහි ගමන් කරන්නාවූ පක්ෂිය, තෝ වනාහි කෙසෙල් කඳක් මෙන් මනොඥවූ කලවා ඇත්තියට මා හුල උන් බව කීයෙහි. ඕතොමෝ බොහෝ කලක් සිහි කෙරේ.
කඩුවටද හුලටද, නගනලද්දේය. මේ වනාහි ඒ මාගේ ප්‍රියාව නොදනී. ඒ චණ්ඩ තැනැත්තී මා කෙරෙහි ක්‍රෝධය කරන්නීය. ඇගේ ඒ කෝපය මා තවයි මෙහි මේ හුල ඇවිණී දුක මා නොතවයි.
හිස සමීපයෙහි තබනලද මේ උත්පලයකට බඳු සන්නාහයද, රනින් කරණ ලද ඇඟිලි මුදුවද මෘදුවූ කශී රට වස්ත්‍ර යුග්මයද ඇත. වස්තු කැමැත්තාවූ ඒ මාගේ ප්‍රියාව මෙයින් තෘප්තියට පැමිණේවායි’ කීයේය.
7. කාමවිලාප ජාතකය.
පැසුණු ගෙඩි ඇති මොහු දිඹුල්ගස්ය, නුගගස්ය, ගිවුලුගස්ය, මෙහි එව, නික්ම තෝද අනුභව කරව. සාදුකින් කුමට මිය යන්නෙහිද?
යම්සේ මම අද ගස්වල ගෙඩි කෑයෙමි සුවපත්වීම්ද? එපරිද්දෙන් යමෙක් වෘද්ධයා පුදාද, හෙතෙම සුවපත්වේ.
වනයෙහි උපන්නාවූ වඳුරා වනයෙහි උපන් වඳුරාගේ යම් වචනයක් වංචා කරන්නේද? එසේහෙයින් තා වැනිවූ ලදරු වඳුරෙක්ද, ඒ නොඅදහන්නේය. ජරාවෙන් ජීර්ණවූ මාවැනිවූ මහළු වඳුරෙක් නොඅදහන්නේයයි’ කීයේය.
8. උදුම්බර ජාතකය.
කොල, වඳුර, පෙර තෝ ක්‍රීඩා ස්වභාව ඇත්තාවූ අපගේ සමීපයෙහි පැන පැන ක්‍රීඩා කෙළෙහි. අපගේ ආශ්‍රමයෙහි වැඳිරි මුහුණු ආදී ක්‍රීඩාවන් කෙරෙහිය. වානරය, ක්‍රීඩා ස්වභාව ඇත්තාවූ තා කෙරෙහි අපි නොඇලෙමු.
ආයුෂ්මත්නී, මා විසින් බහුශ්‍රැතවූ හෙවත් බොහෝ උගත්වූ කෝමාය පුත්‍රයාගේ උතුම්වූ ධ්‍යාන විශුද්ධි තොමෝ අසන ලද්දීමය. එසේහෙයින් තෝ දැන් මා පෙර මෙන් නොසිතව. ධ්‍යානයෙන් යුක්තවම වාසය කරමු.